විසඳුම බැක්ටීරියාව පාලනය පමණයි
ගොවිජන සේවා නිලධාරියෙක් කියයි
පත්‍ර කහගැන්වී පිලිස්සී යෑමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුකුදේගම හා ඒ අවට අක්කර 300ක පමණ ගෝවා වගාවක් විනාශයට ලක්වෙමින් පවතින බව ගොවීහු පවසති.
ඔවුන් පවසන්නේ, මේ හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනින් වැය කර ගෝවා වගා කළ ගොවි පවුල් 250කට පමණ යනඑනමං නැති තත්ත්වයක් උදා වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, කුරුකුදේගම ප්‍රදේශවාසියකු වන ඩබ්ලිව්.එම්. පත්මසිරි මහතා මෙසේ කියා සිටියේය.
‘වසරක් පාසාම කුරුකුදේගම හා අවට ගම්මාන කිහිපයකම මිනිස්සු ගෝවා වගා කරනවා. ගෙදර දරුවන්ට කන්න තියෙන සල්ලි ටික වියදම් කරලා, රත්තරන් බඩු ටික උකස් කරලා තමයි අපි වගාව කළේ. ඒ විශාල බලාපොරොත්තු ගොන්නක් තියාගෙන. යන්තම් වගාවේ කොළ අල්ලද්දි ගෝවා කොළ කහ පාට වෙලා වේළිලා යන්න පටන්ගෙන තියෙනවා. මුළු වගාව පුරාම මේ කොළ පිච්චෙන රෝගය පැතිරගිහින්. කවදාවත් මේ විදිහේ රෝගයක් හැදිලා නැහැ. රෝගය හැදෙද්දිම අපි වෙළෙඳපොළෙන් විවිධ කෘෂි රසායන ගෙනවිත් ගැහුවා. හැබැයි එකකින්වත් ප්‍රතිඵලයක් නැහැ. පිටරටින් ගේන බීජ තමයි අපි වගා කරන්නෙ. රුපියල් තුන්දාහක විතර බීජ පැකට් එකකින් පැළ දාහක් විතර තමයි ගන්න පුළුවන්. ඒවා කිසි ප්‍රමිතියකට නැති නිසා විවිධ රෝග හැදෙනවා.’
ගොවියකු වන චින්තක මධුශංක මෙසේ කියා සිටියේය.
‘මමත් වගාවට රුපියල් ලක්ෂ හතකට වඩා වැය කළා. හැබැයි යන්තම් අහුරු අල්ලගෙන එද්දිම ගෝවා කොළ පිච්චිලා යන්න පටන් ගත්තා. කිසිම රසායනයකට ඔරොත්තු දෙන්නෙ නැහැ. මං හිතන විදිහට මේකට හේතුව හොඳ බීජ නැතිකම. ඒ හින්දා අපිට අඩුම තරමේ හොඳ බීජ ටිකක් ලබා දෙන්න වැඩපිළිවෙළක් හරි ආරම්භ කරන්න කියලයි අපි කියන්නෙ. අපි මේවාට වන්දි නෙවෙයි ඉල්ලන්නේ. අපිට රෝගවලට ඔරොත්තු දෙන හොඳ බීජ සහ කෘෂි රසායන දෙන වැඩපිළිවෙළක් හදන්න කියලයි අපි ඉල්ලන්නේ.’
ආර්.එම්. සුසන්ත කුමාර මහතා මෙසේ අදහස් දැක්වීය.
‘මේක අපට වගේම පාරිභෝගිකයාටත් විශාල අසාධාරණයක්. මොකද වගාව විනාශ වීමත් එක්ක මිල ඉහළ යෑම තමයි සිද්ධ වෙන්නේ. වෙළෙඳපොළේ මිල ඉහළ යෑමට හේතුව තමයි හොඳ අස්වැන්නක් නොලැබීම. වගා කරන බීජවලින් අපට ලැබෙන්නෙ සියයට තිහක, හතළිහක අස්වැන්නක්. හැබැයි සියයට සියයක් අස්වැන්න ගන්න පුළුවන් බීජ වර්ග වගේම ප්‍රමිතියකින් යුතු කෘෂි රසායන ද්‍රව්‍ය වෙළෙඳපොළට එනවා නම් අපට හුඟක් අඩුවට අපේ අස්වැන්න වෙළෙඳපොළට යවන්න හැකියාව තියෙනවා. මේ ගැන අලුත් ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය හරි තේරුම් ගන්නවා නම් ඒක ගොවියාට වගේම පාරිභෝගිකයාටත් විශාල වාසියක් වේවි.’
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නම සඳහන් කිරීමට අකැමැති ඇටම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරියකු කියා සිටියේ,
‘රජයේ නිලධාරීන් විදියට අපට මාධ්‍යයට තොරතුරු දෙන්න අයිතියක් නැහැ. මේක බැක්ටීරියාවකින් පැතිරෙන රෝගයක්. පාලනය කිරීමක් මිස නැවැත්වීමක් කරන්න බැහැ.
අප කාර්යාලයේ නිලධාරීන් ක්ෂේත්‍රයට ගොස් ගොවි මහතුන් හමුවී රෝගය පාලනය කරන්න අවශ්‍ය උපදෙස් දීම නිරන්තරයෙන් සිදු කරනවා.’ යැයි කීය.
මීගහකිවුල සමූහ – එන්. නවරත්න