Home » ආර්ථිකයේ වර්ධනයට නවෝත්පාදන

ආර්ථිකයේ වර්ධනයට නවෝත්පාදන

by sachintha
January 7, 2025 3:27 am 0 comment

ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව (NASTEC) මඟින් මෙරටේ නවෝත්පාදන දිරි ගැන්වීම පිළිබඳ ව්‍යාපෘතිය ජනතාවට හඳුන්වා දීම සහ වෙබ් අඩවිය එළිදැක්වීමේ විශේෂ උත්සවයක් ජනවාරි මස 08 (හෙට) බදාදා සවස 2.00ට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අද ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇති සමාජ පරිවර්තනය හුදු ආණ්ඩු මාරුවක් හෝ පාලක කණ්ඩායමක් ගෙදර යාම හේතුවෙන් හිස් වන පාලක හා නිලධාරි පුරප්පාඩු වෙනත් කණ්ඩායමක් මඟින් පිරවීමක් පමණක් නොවේ. නිදහසෙන් අවුරුදු 76 කට පසු ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පරිවර්තනයකට එහා ගිය සමස්ත සමාජ පරිවර්තනයකි; පුනරුදයකි.

ශ්‍රී ලංකාව නිදහස ලැබූ කාලය තුළ ඉංජිනේරු, සෞඛ්‍ය, අධ්‍යාපනය, කලාව, සාහිත්‍යය, මානව අයිතිවාසිකම් වැනි විවිධ කලාපයන් තුළ සිටි විශිෂ්ටතමයින් බිහිකිරීමට ප්‍රාර්ථනා කළහ. ඒ සඳහා ඒ ඒ ක්ෂේත්‍රය තුළ අත්තිවාරම් දැමීමට උත්සාහ කළ එහෙත් මෙතුවක් කල් ශ්‍රී ලංකාව පාලනය කළ ප්‍රභූ කණ්ඩායම් විසින් යටපත් කළ දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය ප්‍රායෝගිකව මල්පල ගැන්වීමකි. ජාතික ජන බලවේගය ආණ්ඩුව අපේක්ෂා කරන පාලනය පුනරුද යුගයක් වන්නේ එය විසිවන සියවස තුළ ඇති වූ එහෙත්, යටපත් කළ දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය විසිඑක්වන සියවස තුළ සැබෑවක් වීමේ හේතුව නිසා මෙන්ම, එය දැවැන්ත සාමූහික ජනතා මැදිහත්වීමක් මඟින් සිදුවන රට ගොඩනැගීමේ ක්‍රියාවලියක් වීම හේතුවෙනි.

මානව හා සාමාජයීය ප්‍රවර්ධනය

විද්‍යාව හා තාක්ෂණය සමඟ එකට බැඳුණු පර්යේෂණ හා සංවර්ධන (Research and Development) ක්‍රියාදාමය, අගය එකතු කළ (value added) භාණ්ඩ හා සේවා නිෂ්පාදනය රටේ ආර්ථිකය නඟා සිටුවන අතර සමස්ත මානව හා සාමාජයීය ප්‍රවර්ධනයට ද උර දෙයි. ශ්‍රී ලංකාව සඳහා වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.12% පමණ ඉතා අඩු ප්‍රමාණයක් වෙන් කරන අතර, ශ්‍රී ලංකාවට සමාන භූ-දේශපාලන විභවයන් සහිත රටවල් වන මැලේසියාව 1%, තායිලන්තය 1.2% සහ වියට්නාමය 0.42% වියදම් කරන අතර, දකුණු කොරියාව 4.6%, ජපානය 3.6% ක්, අ‍ෙමරිකාව 3.5% සහ චීනය 3% ක් ලෙස වෙන් කරමින් ශීඝ්‍රයෙන් දියුණු වූ රාජ්‍ය බවට පත්වී ඇත. ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සීමිත පර්යේෂණ වුව ද ආර්ථික හා සාමාජයීය සංවර්ධනයට නිසි පරිදි දායක කර ගෙන නොමැත. ශ්‍රී ලංකාව ඖෂධීය වටිනාකමක් ඇති ඉහළ ජෛව විවිධත්වයක් (biodiversity) සහිත රටටම ආවේණික (endemic) ශාක (flora) සහ සත්ත්ව විශේෂ (fauna), භූ සම්පත්, රට වටා මුහුද සහ රට තුළ විශාල මිරිදිය සම්පත, සමතුලිත පස සහ නිවර්තන කාලගුණය, අවුරුද්ද පුරා ඇති සූර්ය ශක්තිය, සුළං බලය, නොයෙකුත් විභවයන් ඇති ගංගා හා වැව් අමුණු ආදී නොයෙකුත් ස්වාභාවික සම්පත් රාශියකින් සමන්විත වේ. මේ සියල්ලම R&D තුළින් අඩු පිරිවැයක් ඇති වැඩි ලාභ ලබාගත හැකි, අගය එක් කළ භාණ්ඩ සහ සේවාවන් නිපදවිය හැකි ක්ෂේත්‍ර වන අතර, ඒවාට ජ්‍යාත්‍යන්තර වෙළඳපොළෙහි සුවිශාල විභවයක් ඇත (market potential). රට තුළ නවෝත්පාදකයින් ගම්මට්ටමින් පවා බිහි වුවද ඔවුන්ගේ අදහස් හා නිපැයුම් නිසි ලෙස උකහා ගැනීමේ යන්ත්‍රණයක් හෝ ඔවුනට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමක් සිදුවූයේ ද අවම මට්ටමිනි. මෙම මානව සම්පතට නිවහල් ලෙස සිතන්නට අවශ්‍ය පරිසරය සාදා දීම, ඔවුන්ගේ නව අදහස් පර්යේෂණ හා ගවේෂණ තුළ කාර්යක්ෂම ලෙස සැකසූ යන්ත්‍රණයක් හරහා ලබාදීම තුළින් ශ්‍රී ලංකාව නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට අනාගතයේ පත් කර ගත හැකිය.

නිෂ්පාදන ආර්ථිකයක්

ශ්‍රී ලංකාවාසී මහජනතාවට ජාතික ජන බල ආණ්ඩුවේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉහළින්ම ඔසවා තැබුවේ 2024 සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණයේදීත් 2024 නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අතිවිශිෂ්ට විජයග්‍රහණයකට ඉඩ සලසමිනි. මෙම පුනරුද යුගයේ වැදගත්ම කොටසක් වෙන් කර තිබුණේ නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම සඳහා වන අතර, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයේත් වැදගත්ම කොටසක් වෙන් කර තිබුණේ මානව හා සමාජයීය සංවර්ධනයට සහායවීම සහ තිරසර පරිසරයක් කළමනාකරණය මඟින් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීම පිළිබඳව සංකල්පය හා පර්යේෂණ හා සංවර්ධන මඟින් මූලිකවම අගය ඒකතු කළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයටයි. ජනාධිපතිතුමාගේ මෙම අදහසට ප්‍රස්තූතය ලැබී තිබු‍ෙණ් අපූරු ආකාරයකටය. එනම්, ජනාධිපතිවරණයට පෙර අ‍ෙමරිකාවේ සංචාරයක නිරත වූ කාලයේදී එතුමා, අ‍ෙමරිකාවේ විශාලතම වෛද්‍ය පර්යේෂණ ආයතනය වන ඒම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනය නිරීක්ෂණය කිරීමට සහභාගි වන්නේ ඒම පර්යේෂණ ආයතනයේ සේවය කරන මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ ඇරයුමෙනි. මෙම ඇරයුම මාලිමා රජයේ යම්කිසි හැරවුම් ලක්ෂ්‍යයක් වන බව ජනාධිපතිතුමා ක්ෂණිකව තීරණය කරන්නේ මාලිමාවේ පර්යේෂණ සංවර්ධන ප්‍රතිපත්තිය ද මේ හා සමාන වන බැවිනි. ඒ අනුව මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමේ වගකීම දැරීම සඳහා මහාචාර්ය ගෝමික උඩුගමසූරියගෙන් ඉල්ලා සිටින ලදි. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් මහඟු පල අත්පත් කර ගත් කෙනෙකු වන මහාචාර්ය උඩුගමසූරිය ශ්‍රී ලංකාවට තමන්ගේ දැනුම දායාද කිරීමේ අරමුණ ඉටුකළ හැකි සුදුසුම මඟ මෙය යැයි තීරණය කළ ඔහු, එම ආරාධනය පිළිගෙන මාලිමා රජයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමේ කාර්යභාරය ශ්‍රී ලංකාවේ සිටින විද්වතුන්ගේ සහ දැනට පිටරටවල සිටින විද්වතුන්ගේ සහාය ද ඇතුව ක්‍රියාත්මක කරනු ලැබීය. ඒම උත්සාහයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවාසී ජනතාවට දැකගත හැකි වූයේ 2024.06.29 දින “Quantum Leaf” නමින් මාලිමාවේ පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මඟිනි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 1000 කට අධික වූ විද්වතුන් සංඛ්‍යාවක් උත්සව ශාලාවට එක්වූ අතර, මිලියන ගණනක් අන්තර්ජාලය හරහා එක්වූ බව නිරීක්ෂණය විය. මෙම උත්තේජනය ශ්‍රී ලංකාවාසී විද්වතුන්හට නවමු අත්දැකීමක් වූ අතර ප්‍රතිපත්තියට ඉනික්බිතිව එක්වූ පිරිස අදහාගැනීමට නොහැකි වන තරමටම අතිවිශාල සංඛ්‍යාවක් විය. මාලිමා ආණ්ඩුව පත්වීමත් සමඟ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී මෙහි මූලික යටිතල බලගැන්වීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරු‍ෙණ් අලුතෙන්ම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා විසින් නිර්මාණය කිරීම සහ මෙතෙක් කල් නොතිබුණු ආකාරයට ශක්තිමත් ලෙස රජයේ ආයතන 16ක් ඊට අනුයුක්ත කිරීම මඟිනි.

මෙතෙක් කලක් ශ්‍රී ලංකාව වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.12%ක් පමණ අඩු ප්‍රතිපාදනයක් R& D සඳහා වෙන් කර තිබුණි. ශ්‍රී ලංකාව සතුව බොහෝ ස්වාභාවික සම්පත් ඇති අතර, වටිනා පර්යේෂණ යම් ප්‍රමාණයක් සම්පූර්ණ කර හෝ අවසන් කිරීමට ආසන්නව ඇති නමුත් තවමත් ආර්ථික ප්‍රතිලාභ සඳහා යොදාගෙන නොමැත. නව රජයේ පත් වීමත් සමඟ දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයෝ විශාල සංඛ්‍යාවක් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට විශාල උනන්දුවක් ද දක්වමින් සිටිති. ආර්ථිකය නඟාසිටුවීමට මේ සියල්ල ප්‍රමාදයකින් තොරව කළමනාකරණය කර රටේ සංවර්ධනයට භාවිත කළ යුතුව ඇත. මනාව සැලසුම් කරන ලද සහ නිසි ලෙස කළමනාකරණය කරන ලද දිගුකාලීන R&D යන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ආචාර්ය ක්‍රිශාන්ත අබේසේන විසින් අලුතින් පිහිටුවන ලද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දැනටමත් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාණය සහ මනා අධ්‍යයනයකින් යුතුව අදාළ අණ පනත් අනුමත කිරීමට සැලකිය යුතු කාලයක් ගත වේ. ශ්‍රී ලංකා ආර්ථිකයට වහා විසඳුම් අවශ්‍ය වන අතර මූලික වශයෙන් මාස කිහිපයක් ඇතුළත ඉහත දැක්වූ සාධක උපයෝගී කර ගෙන, R& D යොදවා, සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි, කඩිනමින් සහාය දිය හැකි යන්ත්‍රණයක් තිබිය යුතුය. එබැවින්, වඩාත්ම ඵලදායී උපාය මාර්ගය වනුයේ ආර්ථිකය සඳහා ක්ෂණික තල්ලුවක් ලබා ගැනීම සඳහා දැනටමත් පර්යේෂණ අවසන් කර ඇති හෝ ආසන්න වශයෙන් නිම කර ඇති ව්‍යාපෘති, අගය එකතු කළ අලෙවි කළ හැකි නිෂ්පාදන සහ සේවාවන් බවට කඩිනමින් පරිවර්තනය කිරීමයි. මේ සඳහා සුදුසු විශේෂඥයින් නොමැති අමාත්‍යාංශ යටතේ ඇති මන්දගාමී රාජ්‍ය සේවාවන් යොදා ගැනීම කාලීන නොවන අතර හැකි ඉක්මනින් සුදුසු R& D ව්‍යාපෘතින් හඳුනා ගැනීමට, ඇගයීමට ලක් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට විශේෂ යන්ත්‍රණයක් සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇත. R& D ප්‍රතිඵල හඳුනා ගැනීම, ඇගයීම, බලාත්මක කිරීම, ක්‍රියාවට නැංවීම සහ ඉක්මනින් වාණිජකරණය කිරීම සඳහා “පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය” [National Initiative for R&;D Commercialization (NIRDC)] නව ව්‍යාපෘතියක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති කර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් සහ විද්‍යාත්මක පර්යේෂණ, කර්මාන්ත, ආර්ථිකය, නීතිය, කලාව සහ දේශීය උරුමයන් ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයකගෙන් සමන්විත වේ.

මෙම ජාතික ප්‍රවේශයේ කාර්යභාරයන් පස් වැදෑරුම් වේ.

ඒනම්,

(අ) පර්යේෂණ සහ සංවර්ධන සඳහා සියලුම අමාත්‍යාංශ සමඟ සන්නිවේදනය කිරීම සහ සහයෝගයෙන් කටයුතු කිරීම,

(ආ) ආසන්න වශයෙන් පර්යේෂණ නිම කර ඇති වඩාත් සුදුසු ව්‍යාපෘති හඳුනා ගැනීම සහ අඩුපාඩු පිරවීමට (gap filing) රජයේ විශේෂ අරමුදල් ලබාදීම,

(ඇ) දැනටමත් පර්යේෂණ අවසන් කර ඇති ව්‍යාපෘති සඳහා පෞද්ගලික අරමුදල් සැපයීම පිණිස ආයෝජකයින් සම්බන්ධ කිරීම,

(ඈ) වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සියලු ආකාරයේ මාධ්‍ය හරහා මනා පිළිවෙළකින් යුතුව නිතර ප්‍රචාරණය කිරීම සහ

(ඉ) සාමාන්‍ය ජනතාව වෙත විද්‍යාත්මක දැනුම බෙදා හැරීම සඳහා විශේෂ වැඩසටහන් සකස්කිරීම.

මෙම විශේෂිත අරමුදල්, ඉතිරි වී ඇති R&D සම්පූර්ණ කිරීම්, ඉඩම් ලබා ගැනීම්, පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම්, ඉදිකිරීම් සහ අලුත්වැඩියා වියදම්, කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, උපදේශනය, පුහුණුව, බදු සහ රාජකාරි ගෙවීම්, මෙහෙයුම් සහ කළමනාකරණ වියදම්, ආපදා අවදානම් අවම කිරීම් ආදී වූ මෙතෙක් පැවති අඩු තැන් පිරවීම සඳහා ව්‍යාපෘතිවලට ලබා ගත හැකිය. මෙම විශේෂිත අඩුපාඩු සැකසීම් හරහා හැකි ඉක්මනින් මෙම ව්‍යාපෘතීන් රටේ ආර්ථික ක්‍රියාවලියට එක් කර ගැනීමට වගවීම NIRDC මඟින් සිදු කරනු ලබයි. සාක්ෂාත් කර ගත් කෙටිකාලීන ක්‍රියාමාර්ග සහිතව, කාලීන වැදගත් R&D කරුණු හැසිරවීම සඳහා ඉහළ මට්ටමේ පාලන ආයතනයක් ලෙස තවදුරටත් වැඩිදියුණු කරන ලද කාර්යය සමඟින් මෙම NIRDC ව්‍යුහය කාලය ගතවීමත් සමඟ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය වෙත ක්‍රමානුකූලව අවශෝෂණය කර ගත හැකි ය. ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව (NASTEC) මඟින් මේ සඳහා දැනටමත් මූලික ව්‍යුහාත්මක වෙනස්කම්

අධ්‍යයනය කරමින් පවතින අතර නව සැලසුම් ඉතා ඉක්මනින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT