Home » අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක්

අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක්

-ඇමැති කේ. ඩී. ලාල්කාන්ත

by sachintha
January 7, 2025 2:07 am 0 comment

රාජ්‍ය සේවය තුළ ලක්ෂ 15ක පමණ අතිවිශාල පිරිසක් සිටින බව පැවැසුවත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් පවතින බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“වන සත්ත්ව හානි වළක්වා ගැනීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගැනීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. නමුත් ප්‍රශ්නයේ බරපතළකමට සාපේක්ෂව වන ජීවී නිලධාරීන්ගේ සහ පශු වෛද්‍ය නිලධාරීන්ගේ හිඟයක් පවතිනවා.

අලුතින් රාජ්‍ය සේවයට බඳවාගැනීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යම් යම් කොන්දේසි පවතිනවා. කම්කරු වැනි ක්ෂේත්‍රවලට අලුතින් බඳවාගැනීමේදී දැඩි බාධා පැවතුණත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා සේවකයන් බඳවාගැනීමේ අවකාශයක් පවතිනවා. හඳුනාගත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඇති පුරප්පාඩු වෙනුවෙන් බඳවාගැනීම් කරන්න අපි තීරණයක් ගෙන තිබෙනවා. රාජ්‍ය සේවය තුළ පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා. බොහෝ පිරිසක් පෞද්ගලික අංශය හා සම්බන්ධවීමත්, තවත් පිරිසක් රට හැර යෑමත් නිසා මේ ගැටලුව රාජ්‍ය සේවය තුළ පැන නැඟී තිබෙනවා. මේ අත්‍යවශ්‍ය සේවා සඳහා බඳවාගැනීම් නොකර අපේ ඉලක්ක වෙත ගමන් කළ නොහැකියි. පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිපත්තිය වුණේ රාජ්‍ය සේවා දුර්වල කර කඩා වැට්ටීමයි. වී අලෙවි මණ්ඩලයට තිබෙන්නේ එක ලොරියයි. ඒකත් තියෙන්නේ ගරාජ් එකේ. රාජ්‍ය සේවය හිතාමතාම අඩපණ කළා. ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කරන්න ඕන කියලා කියනවා. නමුත් අත්‍යවශ්‍ය තැන්වල බරපතළ සේවක හිඟයක් පවතිනවා.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT