අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පැවැති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.
නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දේශපාලන අධිකාරීත්වය පිළිබඳ පැවැති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
එසේ මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ අතර අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහත්වරු ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න