ගම්මාන පහක පවුල් පන්දහසකට ආසන්න පිරිසක් වසර ගණනාවක් තිස්සේ භාවිත කළ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන් ගඟ හරහා යොදා ඇති පාලම අබලන් වීමෙන් ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින බව ගම්වාසිහු පවසති.
වසර ගණනාවක් තිස්සේ දේශපාලන පොරොන්දුවලට පමණක් සීමා වූ ‘අඹන පාලම’ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ඇනහිටීම හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනක් වටිනා යකඩ කොටස් දිරාපත් වෙමින් පවතින බවද ගම්වාසීහු පවසා සිටිති.
මේ වනවිට පාලමේ කොටස් ද තැනින් තැන පුපුරා යාම් හේතුවෙන් පාලම කඩා වැටීමේ අවදානමක් ද පවතින බව එය භාවිත කරන්නෝ පවසා සිටිති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එළවළු තොග ප්‍රවාහනය කරනු ලබන අඹන පාලම හරහා සේනාගම, නාලියකනත්ත, ඕපල්ගල, මොරගොල්ල හා ආදාවල ගම්මානවල පිරිස් දෛනිකව ගමන් කරති.
බෝවතැන්න ජලාශයේ ජල පිටවුමෙන් පිටවන සුළු ජල තත්ත්වයක දී පවා යටවන ‘අඹන පාලම’ ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි වසර ගණනාවක් තිස්සේ ගම්මාන පහක ජනතාව විවිධ රජයන්ගෙන් ඉල්ලා සිටි බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අඹන ගොවි සංවිධානය පවසා සිටියහ.
පාලම ජලයෙන් යටවූ පසු හදිසි අවශ්‍යතාවයකට පවා කිලෝමීටර් ගණනක් දුර ගෙවා ආදාවල ඔස්සේ ඒ නවය මාර්ගයට පිවිසීමට සිදුවන බවත්, ඒ හේතුවෙන් සිය ගොවීන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බව අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජික වයි.එම්.එස්. බණ්ඩාර මහතා පවසා සිටියේය.
අතීතයේ පොලොන්නරුව – තමන්කඩුව මාර්ගය මහනුවර හා සම්බන්ධ කර ඇති මෙම මාර්ගය ඡන්ද සමයේ දේශපාලන පොරොන්දුවලට පමණක් ලක්වන ජනප්‍රිය මාතෘකාවක් බව ද හෙතෙම පවසා සිටියේය. නව රජයේ හෝ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වී ගොවි ගම්මාන පහක ජනතාවට සෙත සැලසෙන ‘අඹන පාලම’ අලුත්වැඩියා කිරීමේ කටයුත්ත කෙරෙහි අවධානය යොමු විය යුතු බැව් ද බණ්ඩාර මහතා අවධාරණය කළේය.
නාඋල සමූහ