Sunday, May 11, 2025
Home » කැලණි ගඟේ ඉවුරු ඛාදනයෙන් යටියන්තොට ජනතාවට පීඩා

කැලණි ගඟේ ඉවුරු ඛාදනයෙන් යටියන්තොට ජනතාවට පීඩා

-කිතුල්ගල - යටියන්තොට අතර ඔරු ගමනාගමනයටත් බාධා

by sachintha
January 7, 2025 2:15 am 0 comment

කිතුල්ගලින් පහළ යටියන්තොට ප්‍රදේශයට වන්නට කැලණි ගඟේ ඉවුරු ඛාදනය වීම මේ වනවිට ඉහළ ගොස් ඇති අතර, මෙම ගං ඉවුරු කඩා වැටීම හේතුවෙන් ගඟ අවට ජීවත්වන ජනතාව බලවත් අපහසුතාවට පත්ව සිටිති.

ඔවුන් පවසන්නේ, කිතුල්ගල – යටියන්තොට අතර ගඟෙන් එගොඩ ජීවත්වන ජනතාවට ගමනාගමනයට ඇත්තේ පාලම් කිහිපයක් බවත්, ඇතැම් ගම්මානවල ජනතාවට පාලමට ඇති දුර ප්‍රමාණය අනුව ඔරුවෙන් එගොඩ වීම පහසුවක් වන බවත්ය. එහෙත් මේ වනවිට ඇතැම් ඔරු තොටුපොළ ඉවුරු ඛාදනය හේතුවෙන් විනාශ වී ඇති බැවින් ඉන් එගොඩ වන ජනතාව පීඩාවට පත්ව සිටින බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳ අදහස් දැක්වූ ආර්.ඒ. සුමනපාල මහතා මෙසේ පැවසීය.

‘ගිනිකුලුවත්ත, පහළ පැලැල්ලේගම, පනාවත්ත වැනි ගම්මානවල ජනතාව ඔරුවෙන් තමා එගොඩ යන්නෙ. සමහර තැන්වල ප්‍රාදේශීය සභාවෙන් දැම්ම ඔරුත් තියෙනවා. සමහර තැන්වල පෞද්ගලික ඔරුත් තියෙනවා කොහොම වුණත් පසුගිය වැහි කාලවල ගඟේ ඉවුරු කඩා වැටුණා. විශාල ගස් පවා ගඟට වැටුණා. මේ නිසා ඔරු තොටුපොළවල් පවා විනාශ වුණා. මෙහෙම ඉවුරු කඩාගෙන යන්න වුණොත් ගඟට බහින්න තැනක් නැති වෙනවා.’

මේ පිළිබද අදහස් දැක්වූ කිතුල්ගල සංචාරක කලාපයේ පරිසර සුරැකීමේ සංවිධානයේ සභාපති සෑම් ජයනන්දන මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

‘කිතුල්ගල හා පහළ අතු ගංගා ඔයවල ඇළවලින් කැලණි ගඟට විශාල ජල කඳක් එකතු වෙනවා. කිතුල්ගලින් ඉහළ එහෙම නැහැ. කැලණි ගඟේ පහළ කොටස්වල සීමාවක් නැතිව වැලි ගොඩදමන විට ඒ අඩුව පිරෙන්න උඩින් කඩාගෙන යනවා. බලපත්‍ර සහිතව හෝ රහිතව වැලි ගොඩ දැම්මත් එකම දෙයක් වෙන්නෙ. කියුබ් පහකට බලපත්‍ර අරන් දහය, පහළොව දමන අයත් ඉන්නවා. අද ප්‍රධාන පාලම්වල බේස් වළවල් පවා පෑදිලා. පසුගිය කාලයේ තද වැස්සෙ බලපෑමත් එක්ක ඉවුරු කැඩීම තවත් වැඩි වුණා. මේ රජයෙන්වත් මේවා ගැන නිසි අධීක්ෂණයක් වෙනවා නම් හොඳයි.’

මේ සම්බන්ධව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකයේ සහන සේවා නිලධාරි රොහාන් චතුරංග මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය. “වැලි ගොඩ දැමීමත් එක හේතුවක් තමයි, නමුත් වැලි ගොඩ දැමීමෙන් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය පාලනය වෙලා තියෙනවා. ඉවුරු කැඩීමට තවත් හේතුවක් තමයි ගඟට දරා ගන්න බැරි ජල දහරක් එකවර ගලාගෙන ඒම. සමහර අවස්ථාවල මිලිමී‍ටර් 200ට වැඩි වර්ෂාවක් ඉහළ ප්‍රදේශවලට ලැබෙනවා. ඒ අවස්ථාවල ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් එක්ක විශාල ජල කඳක් එනවා. ඉවුරුවල උණ වගේ ශාක තිබුණොත් විශාල ප්‍රදේශයක් ගලවාගෙන යනව. සංරක්ෂණ වැඩපිළිවෙළක අවශ්‍යතාව තියෙනවා.Ó

යටියන්තොට විශේෂ – සමන් එස්. රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT