Home » පව පවමයි

පව පවමයි

-රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානීආචාර්ය, මාකොළ මංගල හිමි

by sachintha
January 8, 2025 1:23 am 0 comment

‘කර්මය’ ගොනා පසුපස යන රිය සක මෙන් නිරන්තරයෙන් ජීවීන් පසුපස හඹා එන බව අපි අසා ඇත්තෙමු. එය මනුෂ්‍යයකුට ද, තිරිසනකුට ද යන්න පිළිබඳ අදාළ නොවේ. මනුෂ්‍ය ලෝකයටත්, තිරිසන් ලෝකයටත් කර්මයට මුහුණ පෑමට සිදු වේ. එහෙත් කර්මයෙන් විපාක ගෙන දෙන විට එය චේතනාව අනුව පටිසන් දෙන බව කියැවෙයි. සත්‍ය වශයෙන්ම අපට කර්මයෙන් ගැලවීමක් නොවේද? මේ ඒ සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය, මාකොළ මංගල හිමියන් සමඟ කළ සාකච්ඡාවකි.

ස්වාමීන්වහන්ස, බුදු දහමට අනුව ‘කර්මය’ කියන්නේ මොකක්ද?

කර්මය කියන්නේ බුදු දහමේ මූලික ඉගැන්වීම්වලින් එකක්. අංගුත්තර නිකායේ නිබ්බේධිත සුත්‍රයේදී කර්මය යනුවෙන් හඳුන්වන්නේ කායික, වාචසික, මානසික හා සචේතනික ක්‍රියාවන්. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා” යනුවෙන් බුදු හාමුදුරුවො දේශනා කළේ, Òමහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. චේතනා පහළ කොට කයෙන් වචනයෙන් මනසින් කර්ම කරයිÓ කියලයි. මේ අනුව චේතනාව අනුව සිදු කරන කර්මය ද යහපත් හෝ අයහපත් විය හැකියි. ඒ අනුව ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස කුසල ධර්ම, දස පාරමී ධර්ම, ආදී කුසල්, යහපත් කර්ම ගණයට ද, පස්පව්, දස අකුසල්, අධාර්මික වෙළෙඳාම් ආදිය අයහපත් කර්ම ගණයට වැටෙනවා. ඒ වගේම යහපත් කර්ම හේතුවෙන් යහපත් විපාකත්, අයහපත් කර්ම හේතුවෙන් අයහපත් විපාකත් ගෙන දෙනවා.

එදිනෙදා ජීවිතයට කර්මය බලපාන්නේ කොහොමද?

පුද්ගලයකු යම් ක්‍රියාවක් කරන සෑම අවස්ථාවකම මනසට අභිප්‍රායක් හටගන්නවා. එම ක්‍රියාවේ ඵල විපාකය නිර්ණය කරන්නේ එම සිතුවිල්ල මිස සිදු කරන ක්‍රියාවේ බාහිර ස්වරූපය නෙවෙයි. යමෙක් ශ්‍රද්ධාවන්ත හා සිල්වත් ස්වරූපයක් මවාපාමින් තණ්හාව, වෛරය හා ක්‍රෝධයෙන් යුතුව යම් ක්‍රියාවක් සිදු කරයි නම් එම ක්‍රියාවේ ඵල විපාක රඳා පවතින්නේ ක්‍රියාවට හේතු වූ මූලික අරමුණ මත බැවින් ඔහුට අනාගතයේ දුක් විපාක ලැබිය හැකියි. බුදුරජාණන් වහන්සේ සැප විපාක ලබාදෙන කුසල කර්ම (යහපත් ක්‍රියා) හා දුක් විපාක ලබාදෙන අකුසල කර්ම (අයහපත් ක්‍රියා) යන දෙවර්ගය පිළිබඳ දේශනා කර තිබෙනවා. යහපත්, අයහපත් සෑම කර්මයකටම විපාක දෙන අවස්ථා හතරක් ධර්මයේ සඳහන් වෙනවා. එනම්, දිට්ඨධම්මවේදනීය (මේ භවයේදීම පලදෙන කර්ම), උපපජ්ජවේදනීය (ඊළඟ භවයේ දී පලදෙන කර්ම), අපරාපරියවේදනීය (සසර දිගින් දිගටම පලදෙන කර්ම), අහෝසි (පලදීමට අවකාස නොලබා අහෝසිවන කර්ම). කර්මයේ බලපෑම කෙතරම් තීරණාත්මක වුණත් වර්තමානයේ කර්මවලින් සහ පරිසර සාධක ඇසුරින් අතීත කර්ම ශක්තිය පාදා ගැනීමට ද වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා. එවැනි අවස්ථා හතරක් හඳුනා ගන්න පුළුවන්. ගති සම්පත්ති (උපදින ස්ථානයේ උසස් බව), උපධි සම්පත්ති (රූප ස්වභාවය), කාල සම්පත්ති (උපදින කාලය), ප්‍රයෝග සම්පත්ති (ස්ථානෝචිත දැනුම).

මේ අනුව සියලු සත්ත්වයෝ ම කර්මය ස්වකීය කොට ඇත්තෝ ය. කර්මය දායාද කොට ඇත්තෝ ය. කර්මය සැප දුක් වේදනා ගෙනදෙන මූල හේතුව කොට ඇත්තෝ ය. එසේම කර්මය ඥාතිකොට ඇත්තෝ ය. කර්මය පිහිට, පිළිසරණ කොට ඇත්තෝ ය. ඉදින් යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේ නම් ඔහු ඒ කළා වූ කර්මයන්ගේ විපාක ද ඔහුටම දායාද වන්නේය. යනුවෙන් බුදු දහමේ සඳහන් වී තිබෙනවා.

සියදිවි නසා ගැනීම ප්‍රශ්නවලට විසඳුමක්ද?

තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින්ම නැති කරගනු ලැබීමේ ක්‍රියාව සියදිවි නසා ගැනීම ලෙස නිර්වචනය කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් සියදිවි නසා ගැනීම සිදු කරන්නේ ජීවිතයේ බලාපොරොත්තු නැති වූ අවස්ථාවල, මානසික ආතතිය (විෂාදය – Major depressive disorder), භින්නොන්මාදය (Schizophrenia Schizophrenia), Bipolar disorder) වැනි මානසික රෝගවලට (Mental disorder mental disorder) ගොදුරු වී ඇති අවස්ථාවලදී, අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අවස්ථාවලදී සහ ඖෂධ අනිසි ලෙස භාවිත කරන (Drug abuse) අවස්ථාවලදීයි.

කෙනෙක් සිය දිවි හානි කර ගන්නේ ඇයි? දරාගත නොහැකි මානසික පීඩාවන්ට ලක්වන අය ප්‍රශ්නයෙන් මඟහරින්නට තාවකාලික විසඳුමක් ලෙස සිය දිවි හානි කර ගැනීම සිදු කර ගන්නා බව මූලිකවම පෙනී යනවා. තාවකාලික විසඳුමක් ලෙස එය සිදු කළත්, සාංසාරික වශයෙන් ප්‍රශ්නයෙන් මිදීමට එය විසඳුමක් නෙවෙයි. එයින් තමාගේ ආධ්‍යාත්මයට ද වන හානිය කියා නිම කරන්න බැහැ. තමන්ගේ කර්ම විපාක ප්‍රමාණය අඩු කර ගන්නට උත්සාහ කරනවා වෙනුවට, ඒ කර්ම විපාක හමුවේ ඒවා සමඟ යළි යළිත් ගැටී තවත් අකුසල කර්ම රැස් කර ගන්නට පෙලඹීම සැබැවින්ම නොදැනුවත්කම මත සිදු කරන්නක්. ඉවසීමක් නැතිකම සිය දිවි හානි කර ගැනීමට හේතු වෙන ප්‍රධාන මානසික ස්වභාවයක්. බොහෝ දෙනා එය ක්ෂණික විසඳුමක් ලෙස සලකාගෙන සිදු කළත් සැබැවින් ම එය දීර්ඝ සංසාරයේ අප්‍රමාණ දුක් වේදනාවන්වලට, ප්‍රශ්න අර්බුදවලට තමන් ඇද දමා ගැනීමක්. යමෙක් තමන්ට අල්ප මාත්‍ර වූ ත් ආදරයක් තිබෙන්නේ නම් කිසිදා සියදිවි හානි කර ගැනීමට පෙලඹෙන්නේ නැහැ.

මේ ආත්මයේ පව් – පින් කර්මය ලෙසින් පසුපස එනවා කියන්නේ ඇත්තක්ද?

කර්මය චේතනාව පදනම් කරගෙන කරන ක්‍රියාවන් සහ ඒවායේ විපාක ලෙස වර්ග කෙරෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර ගණනාවක කර්මය සම්බන්ධ දේශනා ඇතුළත්ව තිබෙනවා. ඒවා තුළින් දැක්වෙන්නේ, කර්මය කෙසේ සෑදෙයිද, කෙසේ විපාක ලබා දෙයිද යන කරුණුයි. මේ සම්බන්ධයෙන් චුල්ලකම්මවිභඟ සූත්‍රය (මජ්ඣිම නිකාය) තුළ මෙසේ සඳහන් කර තිබෙනවා. යමක් කරන අවස්ථාවේදී මූලිකවම නිර්ණය කරන්නක් වන්නේ පුද්ගලයාගේ චේතනාවයි. කිසියම් අකුසලයක් සිදු කළද, ඒ සඳහා විපාක ලැබෙන්නේ චේතනාව මතයි. අකුසල කර්මයෙහි විපාකය ඉක්මනින් හෝ පසුව පමණක් නොව, භවය පසුපස හෝ නුදුරු කාලයකදීත් ලැබිය හැකියි. මෙය ධම්මපදයෙහි පැහැදිලි කර ඇත්තේ, ‘මනුෂ්‍යයා අභ්‍යන්තරව අකුසල සිතිවිලි රඳවාගෙන සිටින්නේ තමන් කළ කර්මයන්ගේ බලපෑම නිසාය.’ යනුවෙනුයි බුදුරජාණන් වහන්සේට පවා උන්වහන්සේ බෝසත් අවධියේ කළ ඇතැම් අකුසල කර්ම විපාක දුන් ආකාරය චුල්ලකම්ම පිලෝතික සූත්‍රය තුළ සඳහන් වෙනවා. කර්ම විපාක දීමේදී පුද්ගල තරාතිරම හෝ ආධ්‍යාත්මික හැකියාවන් පවා නොසලකමින් සියලු දෙනාටම එකසේම විඳීමට සිදු වන බව බුදුදහම උගන්වනවා. නීතිය සියලු දෙනාටම සමාන බව ප්‍රකාශ කළ ද, පුද්ගල ක්‍රියාකාරීත්වයක් කියා යම් යම් පුද්ගල තරාතිරම් අනුව බලතල ආවරණයක් දකින්නට ලැබුණ ද අකුසල කර්මවලින් මිදීමට කෙසේවත් හැකියාවක් නැහැ. ලොවුතුරා බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබීමෙන් පසුත්, චිංචිමානවිකාවගේ චෝදනාවලට ලක්වීමට සිදු වූයේ උන්වහන්සේ පෙර භවයකදී සිදු කළ අකුසල කර්මයක් නිසායි.

පෙර ආත්මවල කළ පව් මේ ආත්මයේ පින් කිරීමෙන් අහෝසි වෙයිද?

බුදුදහමට අනුව ද, මනෝවිද්‍යාවේ සහ ආගමික සොයාබැලීම්වලට අනුව ද, මේ

ප්‍රශ්නයේ පිළිතුර ව්‍යාප්ත වෙනවා. පෙර ආත්මයේ කළ නරක කර්මයන් (පව්) මේ ආත්මයේ පින් (යහපත් කර්මයන්) වැඩි වශයෙන් කිරීමෙන් සම්පූර්ණයෙන් අහෝසි කළ නොහැකි බව බුදු දහමේ පිළිගැනීමයි. ඇතැම් පුද්ගලයන් තමා සිදු කළ පාපකර්ම නැතිකර ගැනීම සඳහා වැඩිපුර පින්කම් කරයි. තමා කළ විශාල පින්කම් තුළින් අකුසල කර්ම වැසී යනවා යැයි ඔවුන් සිතුවද, පින් කිරීමෙන් පව නැතිකළ නොහැකියි. පින පිනමයි. පිනෙහි විපාක එලෙසම, විඳීමට සිදු වෙනවා. පව පවමයි. පවෙහි විපාක එලෙසම විඳීමට සිදු වෙනවා. පාපයක් හෝ අකුසලයක් සිදුවන්නේ පුද්ගල සචේතනිකත්වය සහිතවයි. සචේතනිකත්වයෙන් තොරව සිදුවන වරද වරදක් ලෙස බුදු සමය සලකනු ලබන්නේ නෑ.

තමා නොදැන කළ වරද වරදක් ලෙස තමා නොදන්නවා වුව ද තමාට හෝ සමාජයට හෝ නැතිනම් දෙපක්ෂයටම බරපතළ හානියක් සිදුවිය හැකියි. හානියක් වුව ද තමා සිතා මතා එම වරද නොකළ නිසා තමාට ඉන් අකුසලයක් සිදු වන්නේ නැති බව ධර්මයේ දක්වා තිබෙනවා. බුදුදහම සියල්ලම තීරණය කරනු ලබන්නේ චේතනා, ක්‍රියාව සහ ප්‍රතිඵලය මතයි. වඩාත් බරපතළ වන්නේ චේතනාවයි. තමා නොදැන වරදක් සිදුවීම එක් කරුණක් වන අතර නොදන්නා ලෙස පෙන්වා වරද කිරීම අනෙකයි. එහෙත්, එම පව්වල විපාක මෘදු කිරීම හෝ ඉදිරි ගමන පහසු කිරීම සඳහා, පින් (යහපත් ක්‍රියාකාරකම්) මහඟු ආරක්ෂාවක් බවට පත් වෙනවා. නරක කර්මයන්ගෙන් මිදීම සඳහා, සතිපට්ඨානය, සීලය, භාවනා, සහ ධර්ම චින්තනය මඟින් ජීවිතය අභ්‍යන්තර ශක්තියෙන් පිරුණු සන්සුන් දිවියකට යොමු කළ හැකියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT