නැඟෙනහිරින් අරුණ වැටෙන්නට ළං වෙත්ම කැලෑවේ ජීවත් වන්නෝ දවසට සූදානම් වෙති. කුරුල්ලන්ට විතරක් නොවේ හැම සතා සිව්පාවෙකුටම හොඳටම බඩගිනි ය. හැමෝම තම තමන්ගේ කෑම සොයා යති. සතුන්ගේ වෙනස්කම් අනුව කෑම වර්ග ද වෙනස් වේ.
භික්ෂුව ද දැන් කැලෑ වැසියෙකි. හොඳින් භාවනා වඩන දිනවල හැර, සහෝදර හිමිවරුන්ගේ ආරාධනාවලට සහ ගම්වැසියන්ගේ ආරාධනාවලට කලාතුරකින් වැඩම කරන්නට වීම නිසා භාවනා කටයුතු අඩපණ වුවහොත් ශරීරයේ වෙහෙසත් කුසගින්නත් තදින් දැනේ. බාහිර අය ලෙනට පැමිණීම ද හරි කරදරයකි. බොහෝ අයට ඇත්තේ ලෞකික ජීවිතයේම නොතිත් ආශා ය. සමහර දිනවලදී බාහිර බාධා නිසා භාවනා කටයුතු අඩපණ වේ. සුවසේ හොඳින් භාවනා වඩන දිනවලදී කුසගින්න එතරම් නොදැනේ. නමුත් බාහිර කරුණු නිසා වෙහෙස වන්නට සිදු වෙද්දී කුසගින්න ද තදින් දැනේ. භික්ෂුව ආරණ්‍යයෙන් පිටත යෑමට එතරම් කැමැත්තක් කොහොමත් නැත.
භික්ෂුවගේ ජීවිතයට මුණගැසුණ බහුතරයකට ඇත්තේ කාමභෝගී දේවල් සම්බන්ධ නොතිත් ආශාවන්ම ය. නිවන් දකින්නට කිසිඳු කැමැත්තක් බොහෝ දෙනාට නැත. නිවන ගැන බොහෝදෙනාට ඇත්තේ වැරදි වැටහීමකි. බොහෝ අය සිතන්නේ නිවන යනු මරණයට කියන තවත් නමක් ලෙස ය.
නිවන ගැන, පින් පව් ගැන බොහෝදෙනාට තිබෙන්නේ ඉතාමත්ම වැරදි අදහස්ය. බොහෝදෙනා පින් පවු දන්නේ ද නැත. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්රියයන් ගැන නොදන්නා අයට ඒවා පැහැදිලි කර දෙන්නේ කෙසේද? කළ හැකි හොඳම දෙය නොදන්නා අයගෙන් ඈත් වී හුදකලාව විවේකයෙන් පහසුවෙන් භාවනානුයෝගීව වාසය කිරීමයි. නමුත් එය ද කරන්නට සොයා එන්නන් නිසා නොහැකි ය. භික්ෂුව නැවතත් වනාන්තරය මාරු කළහොත් එය පහසුවක් වේවි.
පින්කම් කිරීම සහ ඒවා කළ පසුව ප්‍රසිද්ධ කිරීම වැරැදි ද?
චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාද ධර්මය, පට්ඨාන ධර්මය ගැන අල්ප මාත්‍රයක්වත් වැටහීමක් ඇත්නම් ඒ අය පිංකම් කර ගනී. සංසාරය ගැන තරමක් හෝ තේරුම් ගත හැකි නම් ඔවුන් පිංකම් කර ගනී. විවිධාකාර පින්කම් කර ගත යුතුය. එසේම අන්‍යයන් දැනුවත් කර හැමෝටම ඒ කුසල් අනුමෝදන් වෙන්නට අවස්ථාව සැලසිය යුතු ය. අතීතයේ වේවා වර්තමානයේ වේවා පින්කම් කරන බොහෝ දෙනාට සමාජයෙන් කීර්ති ප්‍රශංසා ආදිය ගලාගෙන ඒම සාමාන්‍ය දෙයකි. කීර්ති ප්‍රශංසාදිය දන් දීම නිසා ලැබෙන දිට්ඨධම්මවේදනීය කුසල විපාකයකි. සමහර ඇත්තන්ට එය උහුලන්නේ නැති බව පෙනේ. එයට හේතුව පින්කම් කළ පින්වතුනගේ ඒ පින්කමේ වරදක්වත්, ධර්මයේ වරදක්වත්, අනෙක් පින්වතුනට කළ පින්කම් දැනුම් දීමේ වරදක්වත්, ආනිසංසයේ වරදක්වත්, ඔවුන් කළ හොඳ යහපත් විට ලැබෙන කීර්ති ප්‍රශංසා නම්බුනාම ආදිය ලැබීමේ වරදක්වත් නොවේ. ඔවුනට ඇත්තටම එය උහුලන්නේ නැත්තේ ඔවුනට ඇති වූ ඉරිසියාව නිසා ය.
වරක් භාග්‍යවතුන් වහන්සේට වාත ආබාධයක් ඇති විය. දේවහිත බමුණෙක් භාග්‍යවතුන් වහන්සේගේ අසනීපය සුව වන්නට උපවාන තෙරුන් වහන්සේ අත උණු දිය සහ හකුරු යැවුවේ ය. ඒවා වැළඳු බුදුරජාණන් වහන්සේගේ වාත ආබාධය සුව විය. මේ සිදුවීම අනිත් භික්ෂූන් වහන්සේලා ද ගිහි උපාසක උපාසිකාවන් ද දැනුවත් විය. හැමෝම අතරේ ඔහුට ප්‍රශංසා කරමින් මේ ගැන කතාබහක් ඇති විය. බමුණාගේ කීර්තිය හැම තැනම පැතුරුණේ ය. බමුණා පූජා කර තිබුණේ ද උණු වතුර සහ හකුරු පමණි. ඒ හැමෝම අතරේ කතා වුණේ Òදේවහිත, විසින් බුදුරජාණන් වහන්සේට බෙහෙත් පූජා කළා. එයින්ම රෝගය සුව වුණා. හරිම පුදුමයක්. දේවහිත බමුණාගේ දානය පරම දානයයි.Ó බමුණාගේ කීර්ති ඝෝෂාව හැමතැනම පැතිර ගියේ ය. මේ ආකාරයට පිංකම් කළ පසුව පුණ්‍ය විපාකය පමණක් නොවේ. කීර්ති ප්‍රශංසාදිය ද ලැබේ.
නිවන් දකින්නට පින් උපකාර වේ.
දසපාරමිතාදිය, ත්‍රිවිධ පුණ්යක්රියාදිය, දිවා රාත්‍රී පිං වැඩෙන පිංකම් ආදිය, අටමහා කුසල් ආදිය ද කර ගත යුතුය. ඒවා නිවන් දකින්නට යන ගමනේ උපකාරක හේතු සම්පත් වේ. නිවන් දකින්නට නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගත යුතු ය. එය කර ගන්නා තෙක් ආයුෂ වර්ණ, ආහාර පාන, මනුෂ්‍ය දිව්‍යාදී සුරක්ෂිත ජීවිත ආදී සියල්ලම ලැබෙන්නේ පෙර පින් නිසා ය. ඒ පෙර පින් ඇත්තෝ පහත ආකාරයට චතුරාර්ය සත්‍ය සම්බන්ධ කාරණා සම්පූර්ණ කර ගත යුතු ය. එයට තිපරිවට්ට ද්වාදසාකාරය යැයි කියති. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය යන සත්‍ය සතරෙන් එකක් සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ යන තුනෙන් සම්පූර්ණ කර ගත යුතුය. එක් සත්‍යයකට ඤාණ තුන බැගින් චතුරාර්ය සත්‍යයටම ඤාණ දොළසක් තිබේ. ඒවා කර ගන්නට පෙර පින් තිබිය යුතු ය. එය තවත් පැහැදිලි කළහොත්
1. දුක්ඛ ආර්ය සත්‍යය –
i. සත්‍ය ඤාණය -දුක මේ යැයි දැන ගැනීම
(සත්‍ය ඤාණ)
ii. පරිඤ්ඤෙය්‍ය ඤාණය – මනාව වටහා ගැනීමේ නුවණ (කෘත්‍ය ඤාණ)
iii. පරිඤ්ඤාත ඤාණය – මනාව වටහාගත් බව අවබෝධ කරගත් නුවණ.
(කෘත ඤාණ)
2. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය –
i. සත්‍ය ඤාණය – දුකට හේතුව
දැන ගැනීම. (සත්‍ය ඤාණ)
ii. පහාතව්ය ඤාණය – එය දුරු කළ යුතු යැයි දැන ගැනීම. (කෘත්‍ය ඤාණ)
iii. ප්‍රහීණ ඤාණය – හේතුව දුරු කළේ යැයි
දැන ගැනීම. (කෘත ඤාණ)
3. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය –
i. සත්‍ය ඤාණය – හේතුවෙන් මිදීම. (සත්‍ය ඤාණ)
ii. සච්චිකාතබ්බ
ඤාණය – හේතුවෙන් මිදීම ප්රත්යක්ෂ කළ
යුතු යැයි දැන ගැනීම. (කෘත්‍ය ඤාණ)
iii. සච්චි කතන්ති ඤාණය – හේතුවෙන් මිදුනේ යැයි දැන ගැනීම. (කෘත ඤාණ)
4. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා
ආර්ය සත්‍ය –
i. සත්‍ය ඤාණය – මාර්ගය දැනගැනීම. (සත්‍ය ඤාණ)
ii. භාවේතබ්බ ඤාණය – මාර්ගය වර්ධනය
කළ යුතු යැයි දැනගැනීම.
(කෘත්‍ය ඤාණ)
iii. භාවිතන්ති ඤාණය – මාර්ගය වර්ධනය
කළේ යැයි දැන ගැනීම. (කෘත ඤාණ)
මේ ආකාරයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කෙලෙසුන් නැසීම කළ යුතුය. නිවන යැයි කියන්නේ කෙලෙසුන් නසා ස්කන්ධයන්ගේ පැවැත්ම නැති කිරීමට ය. එය ජීවත්ව සිටියදීම අවශ්ථා සතරකදී සිදු වේ. ඒ සෝවාන් මාර්ගයෙන්, සකදාගාමී මාර්ගයෙන්, අනාගාමී මාර්ගයෙන්, අර්හත් මාර්ගයෙන් ය. රහත් වූ පසුව ස්කන්ධයන්ගේ පැවැත්මක් නැත. මේ කරුණු සාමාන්‍ය පෘථග්ජන අයට පැහැදිලි කර දෙන්නේ කෙසේද? ඔවුන් ජීවත් වන්නේ වෙනම ආශා ගොඩකය. මේවා තේරුම් කර දීම දුෂ්කර වේ.
ඉහත කී ආකාරයට නිවන් දැකීමේදී කෙලෙසුන් නසන විදිහක් තිබේ. ඒවා මේ මොහොතේ පැහැදිලි කරන්නේ නැත. නිවන් නොදැක්කොත් ඒ අය නව සත්තාවාසයේ උපත ලබයි.
නව සත්තාවාසය
මෙහිදී කරුණු තේරුම් ගැනීමට නව සත්තාවාසය ගැන ද කිවයුතුය. නව සත්තා වාසය කියන්නේ සියලුම සත්වයින් වාසය කරන ස්ථාන නවයය. එම ස්ථාන නවය වන්නේ . නානත්ත කායා නානත්ත සඤ්ඤා. නානත්ත කායා ඒකත්ත සඤ්ඤා. ඒකත්ත කායා නානත්ත සඤ්ඤා. ඒකත්ත කායා ඒකත්ත සඤ්ඤා. ආකාසාණඤ්චායතනය. විඤ්ඤාණඤ්චායතනය. ආකිඤ්චඤ්ඤායතනය. නේවසඤ්ඤා නා සඤ්ඤායතනය. අසඤ්ඤසත්තය. යන නවයයි.
මීළඟ ලිපියේදී මෙම නවය ඉතාමත්ම සරලව පැහැදිලි කර දෙන්නම්. එවිට සියලුම සත්වයෝ ගැන ඉතාමත්ම හොඳ අවබෝධයක් ලබා ගත හැකි ය. මේ කරුණු නොදැන නිවන ගැන කීවාට තේරුම් ගත නොහැකි ය. මිනිස්සු අතර කිසිවෙකු කිසි විටෙක ශරීරවලින් සමාන වන්නේ නැත. නිවුන්නු අතර පවා ශරීරවල ඕනෑතරම් වෙනස්කම් තිබේ. කෙනෙකුට හැම අතින්ම සමාන වන තවත් කෙනෙක් ලෝක ධාතුවල කොහේවත් නැත. ඒ මිනිසුන් සහ කාමාවචර දිව්‍ය ලෝක හයේ සිටින දෙවිවරුත්, විනිපාතික සත්වයෝත් විවිධ ශරීර තියෙන විවිධ ප්රතිසන්ධි සංඥාවන්ගෙන් උපත ලබන අය නානත්ත කායා නානත්ත සංඤ්ඤා සත්වයෝ ලෙස හඳුන්වනු ලැබේ. ‘නානත්ත කායා’ කියන්නේ ශරීර, පැහැ සටහන් ආදිය විවිධාකාරයි කියන එකට ය. ‘’නානත්ත සංඤ්ඤා’’ කියන්නේ උපත ලබන ප්රතිසන්ධි සංඥාව විවිධාකාරයි කියන එකට ය.
මීළඟ ලිපියෙන් නව සත්තාවාසය ගැන විස්තර බලාපොරොත්තු වන්න.
(වනවාසී භික්ෂුවකගේ අද්දැකීම්
ඇසුරින් ලියවුණකි.)