Home » ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක්

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක්

-ජනපති අවධාරණය කරයි

by sachintha
January 8, 2025 1:01 am 0 comment

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, විදෙස් තානාපති සේවය සඳහා නව රාජ්‍යතාන්ත්‍රිකයන් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවති සාකච්ඡාවේදී ය. මෙහිදී නව රාජ්‍යතාන්ත්‍රිකයෝ 05 දෙනෙක් පත් කෙරිණි. ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

පසුගිය කාලයේ රාජ්‍යතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් පැවසූ ජනාධිපතිවරයා නව පත්වීම් ලබා ගන්නා රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් මෙහිදී පෙන්වා දුන්නේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සපයනු ලබන සේවාව, සුබසාධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙසත් එම රටවල සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේ දී ඒ සඳහා මූලිකත්වය දෙමින් කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නව රාජ්‍යතාන්ත්‍රිකයන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සිටින මැදපෙරදිග, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා තිබෙන අවස්ථා ප්‍රමාණය වැඩි කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ආයෝජකයන්ට නව වෙ‍ෙළඳපොළ අවස්ථා සොයා ගැනීම රාජ්‍යතාන්ත්‍රික සේවාව හරහා සිදු කළ හැකි බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදේශ තානාපති සේවය සඳහා තානාපතිවරු 04 දෙනෙක් සහ මහ කොමසාරිස්වරයකු පත් කර ඇත.

රාජ්‍යතාන්ත්‍රික සේවයේ වසර 20කට වැඩි පළපුරුද්ද හා අත්දැකීම් සහිත නිලධාරීන් පිරිසක් මෙලෙස නව රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස පත් කර තිබේ. ඒ අනුව, කටාර් රාජ්‍යයේ තානාපති – ආර්.එස්.ඛාන් අසාඩ් මහත්මිය, රුසියානු තානාපති – එස්.කේ. ගුණසේකර මහත්මිය, කුවේට් තානාපති – එල්.පී. රත්නායක මහතා, ඊජිප්තු තානාපති – ඒ.එස්.කේ. සෙනෙවිරත්න මහතා, නවසීලන්ත මහ කොමසාරිස් – ඩබ්ලිව්.ජී.එස්. ප්‍රසන්න මහතා පත්කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්වරු ද මේ සඳහා එක් වූහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT