කුඩා කුටුම්බයක් ඇසුරේ හැදී වැඩී පෝෂණය වුණු ඇයට කුඩා කල සිටම තමා ඇසුරු කළ ග්‍රන්ථවල ඇසුර නිසාම ලෝකය පිළිබඳ, සාහිත්‍ය ගැන පුළුල් දැක්මක් විවර විය. නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකාවත්, කොළඹ විශ්වවිද්‍යාලයත් පරිවර්තන සාහිත්‍ය වෙනුවෙන් ඇයට මං පෙත් විවර කරදීමට සමත් විය. මාධ්‍ය ක්ෂේත්‍රය වගේම ගුරු භූමිකාවත් ස්පර්ශ කළ ඈ මේ වන විට පුද්ගලික වෙෙළඳ දැන්වීම් ආයතනයක සේවය කරන්නීය. ඩිල්ෂානී චතුරිකා දාබරේ වන මැය මේ වන විට ග්‍රන්ථ 03ක් සම්පාදනය කොට තිබේ. ඇය විසින් පරිවර්තනය කළ මයිකල් මෝපර්ගෝ Billy the Kid ග්‍රන්ථය පිළිබඳ කළ කතා බහයි මේ.
*ඔබ මයිකල් මෝපර්ගෝගේ ‘Billy the Kid’ ග්‍රන්ථය පරිවර්තනයට තෝරා ගත්තේ ඇයි ?
මයිකල් මෝපර්ගෝ කියන්නේ බ්‍රිතාන්‍යයේ ළමා කතා රචකයන් අතර පාඨක සම්භාවනාවට පත් ලේඛකයෙක්. ඒ වගේම මයිකල් මෝපර්ගෝ කියන්නේ කවියෙක්. නාට්‍ය රචකයෙක්. මෝපර්ගෝ වර්ෂ 1943දී ලන්ඩනයට උතුරුදිග පිහිටි සෙන්ට් ඕබන්ස්හිදී උපත ලැබූ අයෙක්. දෙවන ලෝක යුද සමයේදී කම්බලන්ඩ් කියන පෙදෙසට ගිය ඔහු එහි කෙටි කාලයක් යුද හමුදාවේ සේවය කළා. ඒ අවධියේදී යුද සිරකරුවකු වුණා. නැවත ලන්ඩන් නුවරට ආවට පස්සේ බොහෝ දුක්ඛදායක දේවල්වලට මුහුණ දෙන්න සිදු වුණා. මේ ස්මර්ණවලින් මිදෙන්න ඔහු කළේ ලේඛන කටයුතු වගේම උගැන්වීමෙහි කටයුතුවලට යොමු වීමයි. වසර දහයක පමණ කාලයක් ගුරු වෘත්තියේ යෙදුණා. පස්සේ සිය බිරිය සමඟ එක්ව, නගරබද දරුවන්ට නැවතී ඉගෙනුම් කටයුතු කළ හැකි ‘Farms for City Children’ නමින් ගොවිපළ කිහිපයක් නගර තුනක ඇරඹුවා. මෙයා කතුවරයෙක් විදිහට ළමයි ගැන ඉතා උනන්දු අයෙක්.
ළමුන් වෙනුවෙන් කළ මේ සේවය අගයමින් 1999දී ඔහුට බ්‍රිතාන්‍ය රජයේ තෙවනියට ඉහළ ම ගෞරව (MBA) සම්මානය ප්රදානය කළා. 2006දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් පිරිනැමෙන දෙවන ඉහළම ගෞරව (OBE) සම්මානය ඔහුට හිමි වුණා. ඒ වගේම මෝපර්ගෝ විසින් කෘති 100කට වඩා රචනා කළා. ඔහුගේ ළමා කෘති ඓතිහාසික, ප්‍රබන්ධ, සත්ත්ව කතා, මායාමය, පුරාවෘත්ත සහ චිත්‍ර කතා වශයෙන් විවිධ හැඩ ගන්නවා. ඔහුගේ බොහෝ කෘති ලෝක යුද්ධය තේමා කර ගනිමින් රචනා වී ඇත.
සත්‍ය සිදුවීම් යැයි සිතෙන පරිද්දෙන් සූක්ෂ්ම ලෙස විස්තර එක්කරමින්, ඉදිරියට කියවාගෙන යා හැකි කුතුහලය රැඳවීමට සමත්. මෝපර්ගෝගේ ළමා කෘති වාර කිහිපයක් සිනමාපට සහ වේදිකා නාට්‍ය ලෙස නිෂ්පාදනය වුණා. 2003ත් 2005ත් අතර කාලයේදී බ්‍රිතාන්‍යයේ ළමා කෘති පිළිබඳ සම්මානනීය ලේඛකයා බවට පත් වුණා.
මේ කරුණු කාරණා නිසා, මගේ සිත මේ ලේඛකයා කෙරෙහි පැහැදුණා. ඒ වගේම බිලීගේ දිවිසැරිය කියන්නේ, බ්‍රිතාන්‍යයේ චෙල්සි පිල වෙනුවෙන් ක්‍රීඩා කරන බිලී නම් ක්‍රීඩකයකු වටා ගෙතුණු කතාන්දරයක්. වියපත් පුද්ගලයකුගේ අතීත කථනයක් ලෙසයි ඉදිරිපත් කර තියෙන්නේ. ලෝක යුද්ධය හේතුවෙන් කුඩා බිලීගේ ජීවිතය උඩුයටිකුරු වෙනවා. යුද්ධයට යන ඔහු යුද සිරකරුවකු බවටත් පත්වෙනවා. ඔහුට සිය පවුලත් අහිමි වෙනවා. මේ සියලු දුක්ඛදායක සිදුවීම්වලින් මිදී වුවද, සිය සිහිනය වෙත යාමට පාපන්දු ක්‍රීඩකයාට හැකිවන ආකාරය තමයි මෙයින් කියැවෙන්නේ. ජීවිතයේ විවිධ දුෂ්කරතා හමුවේ නොනැසී උද්යෝගීමත්ව අරමුණු කරා ළගාවීමට අවශ්‍ය පෙලඹවීම සිය රචනා ශෛලියෙන් දරුවන්ට ලබාදීමට මෝපර්ගෝ සමත් වෙනවා. ඒ නිසා මම මේකට ගොඩක් කැමති වුණා. ඒකයි මම මේ ග්‍රන්ථය පරිවර්තනයට තෝරා ගත්තේ.
*පරිවර්තන කාර්යයේදී ඔබට සිදු වූ බාධක මොනවාද ?
2000 වර්ෂයේදීයි, Billy the Kid කෘතිය පළමුව මුද්‍රණය කරලා තියෙන්නේ. මේ කතාවේ විවිධාකර ක්ෂේත්‍ර ගැන කියැවෙනවා. පාපන්දු ක්‍රීඩාව, හමුදා ජීවිතය, ලෝක යුද්ධ, හිට්ලර්ගේ හතුරෝ, ආක්‍රමණ කළ ආකාර, ලෝක යුද්ධයට පෙර සහ පසු මිනිස්සු ඒවා දරාගන්නේ කොහොමද? විනෝදාස්වාදය,ඒ වෙනුවෙන් මිනිස්සු කරන කැපකිරීම, ඒ වගේම බිලීගෙ පියා පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ඉන්න තැන්වලට ගිහින් පෙන්නනවා, බිලීගේ දුක, මොන දුක වින්දත් ඔහුගේ අරමුණට ඔහු යන හැටි. මේ සියල්ල ගැන මට අවබෝධයක් ලබාගන්නට සිද්ධ වුණා. ක්‍රීඩකයන් කවුද? ඒ ක්‍රීඩාව කුමක්ද? කොහොමද සිද්ධ කරන්නේ? අපි ඒ සියල්ලම දැනගෙන ඉන්නත් ඕනෑ. ඒ වගේම බ්‍රිතාන්‍යයේ වචන සංස්කෘතිය උප සංස්කෘතිය මේ සියල්ල අධ්‍යයනය කළ යුතු වුණා. ඒ වගේම ඒවා නිවැරදි ද කියලා සොයා බලන්නත් ඕනේ. අපි කරන මුල් කෘතියට සාධාරණයක් ඉටු වෙන්න නම් එයට අදාළ තානය ගන්න විදිහ අපි තේරුම් ගත යුතුයි.
* ඔබේ ග්‍රන්ථයේ භාෂාව ගැන යම් යම් සුබවාදී ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ළමා පරපුරට, සංස්කෘතියට ගැළපෙන ආකාරයට ඔබ භාෂාව හසුරවා ගත්තේ කෙසේද ?
ඔව්. මගේ පොත කියවපු අය හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. “කවාකාර පුංචි කකුල” වගේ අපට ගැළපෙන, අපේ සංස්කෘතියට ගැළපෙන, අපේ ළමයින් දන්නා වචන මම මෙහිදී පාවිච්චි කරලා තියෙනවා. ඒවගේම ගොඩක්ම ලිඛිතත් නැති, කට ව්යවහාරෙත් නැති මධ්‍යස්ථ භාෂාවක් මම පාවිච්චි කළා. එය කියවගෙන යන අයට හොඳින් තේරෙනවා.
*2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම යොවුන් සාහිත්‍ය ග්‍රන්ථ යටතේ ඔබේ ග්‍රන්ථය නිර්දේශ වුණා. ඒ සම්බන්ධයෙන් ඔබට තියෙන තක්සේරුව කුමක්ද ?
ඒ ගැන මට සතුටුයි. මම බලාපොරොත්තු වුණෙත් නෑ. හිතුවෙත් නෑ. මේක මගේ පළවෙනි පරිවර්තනය. පළමු පරිවර්තනයෙන්ම නිර්දේශයකට ලක් වීම ගැන මට හරිම සතුටුයි. නිර්දේශයකට ලක්වුණා කියන්නේ පාඨකයන් මේකට කැමතියි. මේක කියවනවා කියන එකයි. මෙය ළමුන්ට වගේම වැඩිහිටියන්ටත් සුදුසු කෘතියක්.
*පරිවර්තනයකට ඔබේ පෙර සූදානම කොහොමද ?
මම මුලින්ම කළේ පොතක් තෝරා ගන්නා එකයි. ඊට පස්සේ ලේඛකයා කවුද කියලා හෙවුවා. එයා මොන වගේ කෙනෙක්ද, එයා කියන දේ අපට ගළපා ගන්න පුළුවන්ද කියලා මම හිතුවා. ඊට පස්සේ එයා කතා කරන දෙය, ඒ කතා කරන විෂය, ඒ වගේම එයා පොතක් ලිවීමේ අරමුණ කුමක්ද? එයා අනිත් අයගෙන් වෙනස් වෙන්නේ කොහොමද ?කියන දේ මම හිමින් සීරුවේ ගවේෂණය කළා.
* පරිවර්තන කාර්යය ඉතා පහසු දෙයක් බවත්, පරිවර්තන කෘති බොහෝ සෙයින් සිදුවෙන බවත් සමාජයේ අදහසක් තියෙනවා. ඔබේ පිළිතුර කුමක්ද ?
ඒ කියන කතාව ඉතා පහසු වුණත්, ඇත්තටම ඒ කාර්යය පහසු දෙයක් නෙවෙයි. පරිවර්තන කාර්යය කියන්නේ දෙවැනි අදියරය. ඒ කියන්නේ පළවෙනි කාර්යය අපට පෙර කෙනෙක් කරලා ඉවරයි. අපි පළමු රචකයාට ගරු කරන්න ඕනෑ. එයා කරලා අවසන් කරපු දේයි, අපි නැවත පෙරළන්නේ. පරිවර්තකයාට තියෙන වගකීම තමයි, තුන්වෙනි පාර්ශ්වයක් වෙත පළමු රචකයාගේ අදහස හරියට ගෙනියන මාධ්‍යයක් විදිහට සිදු කරන එක. ඒක සෑහෙන දෙයක්.කතුවරයා අදහස් කරන දේ,එහි අදහස විකෘති නොකර, එයට ගරු කරමින්, පරිවර්තනය සිදු කරන්න ඕනෑ. අපිට බෑ අපේ ටෝන් එකකට එයාගේ කතාව ලියන්න. පෙර කතුවරයා කියා තියෙන දේ හරියටම දැනගෙන, තේරුම් අරගෙන,කරන්න ඕනෑ. නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනත් අදහසක් තමයි සමාජයට යන්නේ. එහෙම වුණොත් මේ වැරදි අදහස තමයි කියවන්නා ගන්නේ. ඒ අය මුල් පොත කියවලා නෑ. ඒ අය පරිවර්තකයා ගැන විශ්වාස තියලයි කියවන්නේ. එනිසා අපි මුල් පොතට ගරු කරමින්, එය වඩාත් නිවැරදිව ඉටුකරන්න ඕනෑ.
*ශ්‍රී ලංකාවේ පරිවර්තන සාහිත්‍යය පිළිබඳව පරිවර්තිකාවක් විදිහට ඔබගේ අදහස කුමක්ද ?
මේ වන විට ශ්‍රී ලංකාවේ පරිවර්තනය නොකරන පොතක් නැති තරම්. වෙළඳපොළත් ලොකුයි. ඒ වගේම පරිවර්තන ඇසුරු කරන අය ගොඩක් ඉන්නවා. හැබැයි මම නම්, කියන්නේ කොතරම් පරිවර්තන ආවත් මුල් පොත කියවන්න කියලයි. පසුව අවශ්‍ය නම් දෙවැනි පොත විදිහට පරිවර්තනය කියවන්න. මුල් පොතයි, පරිවර්තනයයි දෙකම කියෙව්වම සමහර ඒවා අහසට පොළොව වගේ පරිවර්තනයක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්.
ශ්‍යාමා සමරසිංහ