ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක් වටිනා භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළාය.
මෙම විමර්ශන සඳහා නියෝග අවශ්‍ය නම් මෝසමක් හරහා අයැදින ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙම භාණ්ඩ අස්ථානගතව ඇති බවට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් යොමු කළ නිර්ණාමික ලිපියක් පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා සිටියේය.
ඒ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අංශය භාර ගණකාධිකාරී සිසිර කුමාර මහතාගෙන් ප්‍රකාශයක් ගෙන ඇති බවත් අස්ථානගතවූ භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් පොලීසිය කරණු දක්වමින් අධිකරණයට දන්වා සිටියේය.
එම ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අස්ථානගත වූ භාණ්ඩවලට අදාළ වටිනාකම වෙනස් වීමට ඉඩ ඇති බව ද පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.
සියලු කරුණුවලට සවන් දුන් මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළාය.