(දො.දේ. මොහොට්ටි සූරීන්ගේ පොත් එකතුව ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙත පිරිනැමීම නිමිත්තෙනි.)
විසි වැනි සියවසේ මුල් අඩෙහි දී කුමාරතුංග මුනිදාසයන් හෙළි කළ නව මඟෙහි ගොස් බස – රැස – දෙස උදෙසා මහ මෙහෙවරක් කළ වියත් කැල අතරෙහි මුල්පෙළෙහි ලා ගිණිය යුත්තකු සේ දො.දේ. මොහොට්ටි වියතාණන් හැඳින්විය හැකිය. එතුමෝ වනාහි කුමාරතුංගයන්ගේ සිසුන් අතුරෙහි ද ආදිම අවධියට අයත්වූවෙකි.
මොහොට්ටි සූරීහු, දකුණු ලක මාතර තොරඹුරුවානේ දී 1906 දෙසැම්බර් 15 වැනිදා උපන් හ. ගමේ පාසලින් උගත්, ඔහු පසු කලෙක එහිම සිසු ගුරු තනතුරක් ලදහ. පසුව 1929 දී ගුරු පුහුණුව පිණිස බළපිටියේ සිද්ධාර්ථ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු වූහ. ඔවුන් කුමාරතුංගයන්ගේ පා සෙවණට පත්වූයේ එකල්හි දී ය. කුමාරතුංග මුනිදාස, රැ. තෙන්නකෝන්, ඩී.සී. රණසිංහ යන මහ ගුරුවරුන් තිදෙනා ඇසුරෙහි ගුරු පුහුණුව ලත් මොහොට්ටි සූරීහු ඉන් පසු ගුරුවරයකු ලෙස ද විදුහල්පතිවරයකු ලෙස ද සිරිලක පුරා නොයෙක් පෙදෙස්හි පාසල්වල සේවා කළ හ. එනයින් එතුමෝ සිය දහස් ගණන් සිසු පිරිසකට ගුරු වූ උදාර ගුරු පිය කෙනෙක් වූහ.
කුමාරතුංග මුනිදාසයන් බළපිටියේ ගුරු විදුහල්පති තනතුරින් ඉවත් වැ ගිය පසු ද පානදුරේ එතුමන්ගේ ‘සෙවණ’ නම් නිවෙසට නිතර ආ ගිය මොහොට්ටීහු, කුමාරතුංගයන්ගේ දිවිය අවසන් දක්වාම එතුමන් හා ඇසුර අත්නොහළ හ. එහෙයින් කුමාරතුංග චරිතයත් එතුමන්ගේ අද්විතීය භාෂා සාහිත්‍ය සේවාවන් පිළිබඳව ඉතාම හොඳින් දැන සිටි කෙනෙකි. මොහොට්ටීහු ඔවුන් විසින් ලියන ලද ‘කුමාරතුඟු සිහිවටන’ නම් පොතෙහි එ පිළිබඳ ඉතා අගනා, විසිතුරු පුවත් ඇතුළත් වැ ඇත.
කුමාරතුංගයන් විෂයයෙහි මොහොට්ටි සූරීන් අතින් වූ මෙහෙවර එ මතු දු නොවේ. සකල ගුරු සංහතියට මහාර්ඝ උපදේශ අන්තර්ගතකොට කුමාරතුංගයන් අතින් ‘ශික්ෂණ වෘත්තිය’ නම් ලිපි පෙළ ලියැවුණේ මොහොට්ටීන්ගේ බලවත් ආයාචනය නිසා යැයි කියනු ලැබේ. පසු කලෙක එතුමෝ එ ලිපි පෙළ එක් කොට (තව ද ලිපි සහිතව) පරීක්ෂණ වෘත්තිය නමින් කුඩා පොතක් සේ පළ කළ හ. තවද කුමාරතුංගයන් පුවත්පත් මඟින් කරන ලද ‘පුරෝහිත වාදය’ පිළිබඳ ලිපි සියල්ල එක්කොට අගනා පෙරවදනකුදු සහිතව පළ කරන ලද්දේ මොහොට්ටි සූරීන් විසිනි. කුමාරතුංගයන්ගේ සියලු කව් එක් කොට පළ කැරුණු ‘කුමරතුඟු පැදි එකතුවෙහි’ දෙවන කොටස සකස් කරන ලද්දේ ද එතුමන් විසිනි.
හෙළ හවුලෙහි මුල් ම ඇතුළතකු (සාමාජිකයකු) වූ මොහොට්ටි සූරීහු දිවියෙහි අවසන දක්වා ම හෙළ බස වවා වඩා නැංවීමේ තිසෙහි මුළුමනින්ම බැඳී සිටියහ. අනූ විය ද පසුකොට සිටි කල්හි පවා තනි වැ පැමිණ හෙළ හවුල් මුළුවල මුල් පෙළ හොබවන එතුමන්ගේ දසුන සැබැවින්ම එ කල තුරුණු සුබැසියට මහත් පුබුදුවක් ගෙන දිනි.
දො. දේ. මොහොට්ටි සූරීහු මහ කිවියෙක් වූහ. සුබස ඇතුළු සඟරා, පුවත්පත්වලට ඔවුන් අතින් ලියැවුණු කව් දහස් ගණනෙකි.
ඇතැම් පැදි වටහාගන්නට තියුණු නුවණක්නැතියනට නොහැකි වේ. වරක් යම් කිසිවකු “කුමාරතුංගයනට මෙන් නොතේරෙන කවි ලියන්නට ඔබටත් හැකි දැ”යි ඇසූ විට “කුමාරතුංගයන්ටත් නොතේරෙන කවි ලියන්නට මට පිළිවනැ”යි එතුමන් පිළිවදන් දුන් බවක් කියැවේ.
මොහොට්ටි සූරීන් අතින් ලියැවුණු අනෙක් පොත් අතර ගුත්තිල විවරණය, නිවැරදි සිංහල වහර, ගිහි මිණ ආදිය වැදගත් වේ. එ මෙන්ම, පුවත්පත්, සඟරා ආදියට එතුමන් අතින් ලියැවුණු ලිපි ද බොහෝ වෙයි.
එතුමෝ තමන් ගුරු සේවාවෙහි යෙදුණු පෙදෙස්හි බෙහෙවින් සමාජ සේවාවෙහි ද යෙදුණහ. නොදියුණු වැ පැවැති පාසල් ගණනාවක්ම ඉතා දියුණු කොට නංවාලීමට එතුමෝ සමත් වූහ. සරල, සැහැල්ලු දිවියක් ගත කළ එතුමෝ කීමෙහි, බිණීමෙහි මහ සමතෙක් වූහ. සදය උපහාසය එතුමන්ගේ කතාබහේ නිරතුරු වැ පිරී පැවැතිණි. සමාජයට නිවැරැදි සරු දේ දෙන්නට එතුමෝ හැමවිටම තැත්ගත්හ. විසි වන සියවසේ මුල් කලෙහි ප්‍රචලිත වැ පැවැති මඟුල් දින තුතිපත් (ස්තුති පත්‍ර) පිළිගැන්වීමේ නිසරු සිරිත වෙනස් කොට යුවතිපතීනට උපදෙස්, අනුසසුන් දීමේ සිරිත ඇති කිරීමට ද එතුමන් මුල් වූහයි කියැවේ. ‘ඔවා මිණි මඳොස’ කුඩා පැදි පොත එ සඳහා එතුමන් විසින් ලියැවුණෙකි. තව ද එ බඳු කුඩා පොත් එතුමන් ලියා ඇත්තේය.
සිංහලයෙහි මෙන් ම සංස්කෘතියෙහි ද බැසගත් දැනුමෙන් දො. දේ. මොහොට්ටි සූරීන්ගේ මෙහෙවර අගයමින් රජයෙන් ‘කලා භූෂණ’ සම්මානය එතුමන් වෙත පිරිනැමිණි. හෙළ හවුල ‘හෙළ බස් ඉසුරු’ හරසරින් එතුමන් පිදීය.
ස-අනූ වසරෙක ඉතා වටනා දිගු දිවි ගමනක් නිම කරමින් දොණු දේවිදු මොහොට්ටි සූරීන් 2001 මාර්තු 31 වැනි දින හෙළයෙන් සමුගත ද ඔවුන්ගේ මෙහෙවර බොහෝ කල් හෙළයෙහි පවතී. ඔවුන් ඉතා සැලැකිල්ලෙන් රැකගත් මහඟු අනගි පොත්හල දැයට පැවැරීම එතුමන්ට කරන ඉමහත් හරසරෙකි.
ශ්‍රීනාත් ගනේවත්ත