Tuesday, May 6, 2025
Home » දරුවන්ගේ අධ්‍යාපනයට විද්‍යාව අත්‍යවශ්‍යයි

දරුවන්ගේ අධ්‍යාපනයට විද්‍යාව අත්‍යවශ්‍යයි

අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

by mahesh
January 10, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය.

අගමැතිනිය මේ බව පැවැසුවේ කොළඹදී පැවැති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS ) වාර්ෂික සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

මෙරට විශාලතම විද්‍යා සංගමය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මේ වසරේ සභාපති ධුරයට මහාචාර්ය උදේනි පී. නවගමුව මහතා තෝරා පත්කර ගැනීම ද මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය මෙසේද සඳහන් කළාය.

“මෙරට ප්‍රමුඛතම විද්‍යාත්මක ආයතනය වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරන සාමාජිකයන් 5,000කට අධික සංඛ්‍යාවකින් සැදුම්ලත් සක්‍රිය ප්‍රජාවක් වගේම මෙරට පොහොසත් විද්‍යාත්මක වපසරිය පිළිබඳ සැබෑ සාක්ෂියක්. ගෝලීය වශයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා හෙට දින බිහිවන විද්‍යාඥයන් දැනුමෙන් සහ අත්දැකීම්වලින් සන්නද්ධ කරමින් විද්‍යාව සහ තාක්ෂණයේ ප්‍රගමනයට සංගමය දැඩි කැපවීමෙන් ක්‍රියා කරනවා. අප ගත් ජයග්‍රහණය සමරන අතරම, අප හමුවේ ඇති අභියෝග හඳුනාගෙන සංවර්ධනය සඳහා වූ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම සිදු කළ යුතුයි.

ශක්තිමත් පර්යේෂණ, සංවර්ධන යටිතල පහසුකම්, තරුණ පර්යේෂකයන් සඳහා ඉඩ ප්‍රස්තා සහ මඟපෙන්වීම දීම රටක සංවර්ධනයට අත්‍යවශ්‍යයි. කෙසේ වෙතත් අප මුහුණ දෙන වර්තමානය ගැන කල්පනා කරද්දී අපගේ තත්ත්වය ගැන සතුටු විය නොහැකි බව අප පිළිගත යුතුයි. අපගේ පර්යේෂණ සංස්කෘතිය තුළ නවෝත්පාදන හෝ නිර්මාණශීලිත්වය ගැන අවධානය යොමු කර නෑ. අපගේ පර්යේෂකයන් බොහෝ විට අවට ලෝකය පිළිබඳ දැනුම සහ කුතුහලය රැස් කිරීමට වඩා සේවයෙන් උසස්වීම් ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම බහුලව දකින්න පුළුවන්. විද්‍යාව සෑම දරුවකු විසින්ම ලැබිය යුතු අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක්. එනිසා විද්‍යා අධ්‍යාපනය සහ පර්යේෂණ, න්‍යායික සහ ක්‍රමවේදීමය බව සහතික කරනවා. ප්‍රතිඵලදායී බවට සහතික විය යුතුයි. මෙය අපේ රටේ කාලීන අවශ්‍යතාවක්.

මෙරට විද්‍යාත්මක අධ්‍යයන, පර්යේෂණ සඳහා අත දීම සහ ඒවා වැඩිදියුණු කිරීමට රජය දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනවා. අපගේ වර්තමාන ක්‍රියාකාරිත්වයෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකියි. මෙරට විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමට වත්මන් රජය පුළුල් ප්‍රවේශයක් ගෙන තිබෙනවා. දැවැන්ත ඉදිරි පිම්මක් නම් වූ අපගේ ප්‍රතිපත්ති රාමුව, ප්‍රමුඛ පෙළේ විද්‍යා හා තාක්ෂණ කටයුතු සඳහා රජයේ මුඛ්‍ය කාර්යභාරය අවධාරණය කරනවා. මෙයින් අපේ රට විද්‍යාත්මක සොයාගැනීම් සහ තාක්ෂණික ප්‍රගතියේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සහතික කිරීම රජයේ අරමුණයි. ඊට අමතරව ආර්ථිකය සහ ජාතික සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් ලෙස විද්‍යාවට සහ පර්යේෂණවලට ප්‍රමුඛත්වය දීමට රජය දක්වන කැපවීම අවධාරණය කරමින් වත්මන් රජය විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් ද එළිදක්වා තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT