Thursday, May 8, 2025
Home » වී ගන්න කෝටි 1000ක් නිදහස් කරයි

වී ගන්න කෝටි 1000ක් නිදහස් කරයි

by mahesh
January 10, 2025 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

2024/2025 මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත ජනවාරි 03 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි 1,000ක (රුපියල් මිලියන 10,000) මුදලක් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමය (Pledge Loan Scheme) ආරම්භ කර ඇත.

මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික් ටොන් 25කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වන අතර අදාළ රාජ්‍ය ආයතනයකින් ගත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බව ද සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියකුට හෝ සමුපකාර සමිතියකට රුපියල් මිලියන 50ක උපරිම ණය මුදලක් සියයට 7ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතුය. මෙම ණය යෝජනා ක්‍රමය පහත සඳහන් බැංකු හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම කර ඇත.

ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, යුනියන් බැංකුව, පෑන්එෂියා බැංකුව, අමානා බැංකුව සහ කාර්ගීල්ස් බැංකුව හරහා මෙය ක්‍රියාත්මක කෙරේ.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 10,000ක් වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිල දී ගැනීමට සැලසුම් කර ඇත. 2024 දෙසැම්බර් 30 වැනි දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණය යෝජනා ක්‍රමය මෙම වර්ෂයේ ජනවාරි මස 03 වැනි දින සිට මැයි මස 15 වැනි දින දක්වා ක්‍රියාත්මක කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT