Home » කැලණිය දුරුතු මහා පෙරහර අදින් ඇරඹේ

කැලණිය දුරුතු මහා පෙරහර අදින් ඇරඹේ

by mahesh
January 10, 2025 1:00 am 0 comment

ලක්වැසි අපට ආවේණික වූ බොදු හැදියාව හෙවත් ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය අපූර්වවූත්, අනන්‍යවූත් ලක්ෂණවලින්ම පොහොසත්ය. තථාගත බුදුපියාණන් ප්‍රමුඛ තෙරුවන මමත්වයෙන් ගරුකොට ආරක්ෂා කරමින් වෙහෙර විහාර, බෞද්ධ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් සුරක්ෂිත කොට පෝෂණය කිරීම තම දිවියේ එක් කොටසක් ලෙස සලකන ලක්වැසියෝ ගැඹුරු අවබෝධයකින්, සුවිශේෂී කැපවීමකින් ඊට දායක වෙති.

සෑම වසරකම දුරුතු මස උදාවීමත් සමඟ බුදුපියාණන්ගේ තෙවන ලංකාගමනය ඉමහත් ගෞරවයෙන් අනුස්මරණය කරමින්, ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරස්ථානයෙහි පැවැත්වෙන දුරුතු පින්කම් මාලාවට කැලණිය ප්‍රදේශයේ බොදු ජනතාව සමඟ සමස්ත ලක්වැසි බොදු ජනතාව ද දායකවන්නේ ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියෙනි.

මේ පින්කම් මාලාව ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය සහ කිත්සිරිමෙවන් කැලණි විහාරය යන උභය විහාරධීශ්වර මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ මඟපෙන්වීමෙන් සහ මෙහෙයවීමෙන් තෙමසක පමණ කාලයක් පුරා මහත් ශ්‍රද්ධාවෙන් පවත්වනු ලැබීම ලංකාවාසී සියලු බෞද්ධ ජනයාගේ ප්‍රසාදානන්දයට හේතුවී ඇත. අද (10), හෙට (11) සහ අනිද්දා (12) මේ ඓතිහාසික පෙරහර පැවැත්වේ.

ඔක්තෝබර් මස පුන් පොහෝ දින සිට පුරා තෙමසකට අධික කාලයක් දිනපතා පවත්වනු ලැබූ සුමධුර ධර්ම දේශනා මාලාවෙන් කැලණිය දුරුතු පූජෝත්සවයේ සමාරම්භය සනිටුහන් කෙරේ. එහි සමාප්තියත් සමඟ ලක්වැසි සැමට සෙත්පතා පැවැත්වෙන සත්වරුවේ මහා පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ වෙයි. පිරිත් දේශනාවට ආවේණික පෞරාණික මෙන්ම සාම්ප්‍රදායික අභිචාර සහ චාරිත්‍ර විධි නොපිරිහෙලා සපුරමින් මේ පින්කම පැවැත්වේ. ඊට ලක්දිව සිවුදිගින් වැඩමවන දක්ෂ හා ව්‍යක්ත ධර්ම දේශකයන් වහන්සේලාගේ සහභාගිත්වය සහ දායකත්වය හිමිවීම භාග්‍යයකි. දොරකඩ අස්න සහ අනුශාසනා දේශනාවෙන් පරිසමාප්තියට පත්වන ධර්ම දේශනා මහා පින්කම දුරුතු මාසයෙන් උදාවන නව වසරේ ලක්වැසි සැමට ආශීර්වාදයක් ලෙස සලකනු ලැබේ.

අනතුරුව උදා වන්නේ සුවිශේෂී පෙරහර උත්සව සමයයි. පිරිත් දේශනාවට පූර්වයෙන් ද අලංකාර පරිවාර පෙරහර කිහිපයක් පැවැත්වේ. කැළණිය පොලීසිය, පිලපිටිය මහා විද්‍යාල සහ ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය සංවිධානය කරන එම පෙරහර, විවිධ අලංකාර අංගවලින් අලංකෘතව පැවැත්වේ.

අද දින (10) උඩමළුවේ පෙරහර ද, හෙට (11) ධාතු පෙරහර ද, අනිද්දා (12) අවසන් රන්දෝලි මහ පෙරහර ද පැවැත්වේ. ඊට පරිවාර පෙරහර වශයෙන් විෂ්ණු, කතරගම සහ විභීෂණ දේවාල පෙරහර එක්වේ. 13 වැනි දිනට යෙදෙන දුරුතු පුර පසළොස්වක පුන් පොහෝ දින දවස පුරා පැවැත්වෙන දාන, ශීල, භාවනා පින්කම් මාලාවෙන් මේ ආශීර්වාදාත්මක පුණ්‍ය මහෝත්සවය නිමාවට පත්වේ.

දිවයිනේ නන්දෙසින් පැමිණෙන දේශීය සුපින්වතුන්ගේ මෙන්ම විදේශික සැමට අවශ්‍ය පහසුකම් සැලසීමට ප්‍රදේශයේ රාජ්‍ය මෙන්ම ස්වේච්ඡා සංවිධානවල සහභාගීත්වයෙන් සහ දායකත්වයෙන් කටයුතු පිළියෙල කෙරේ.

කැලණිය දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ, ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික ආටිගල, විභීෂණ දේවාලයේ බස්නායක නිලමේ ලලිත් හපන්ගම, විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ජයරාජ චන්ද්‍රසේකර, කතරගම දේවාලයේ බස්නායක නිලමේ සමන්ත පෙරේරා, දායක සභාව, විහාරස්ථ සංවර්ධන සභාව, විශේෂ දායකත්වයන් සපයන පින්වතුන් සහ ආයතන විශේෂ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කළ යුතුය.

මෙවර කැලණි රාජමහා විහාර ආලෝක පූජාවේ දායකත්වය දරන්නේ කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල් ආයතනයේ සභාපති සුනිල් තිලකවර්ධන මහතාය.

ධම්මික ආටිගල 
ප්‍රධාන බස්නායක නිලමේ, 
කැලණිය රාජමහා විහාරය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT