Home » ඉන්ධන සහනාධාරයේ ප්‍රමාදයෙන් ධීවර යාත්‍රා හිමියෝ අමාරුවේ

ඉන්ධන සහනාධාරයේ ප්‍රමාදයෙන් ධීවර යාත්‍රා හිමියෝ අමාරුවේ

by mahesh
January 10, 2025 1:00 am 0 comment

මාරවිල සමූහ - මිහිර විජේසේකර

රජය විසින් දෙනු ලබන ඉන්ධන සහනාධාරය නිසි වෙලාවට තමන්ට නොලැබීම හේතුවෙන් ධීවර ජනතාව මහත් අපහසුතාවට පත්ව ඇති බව බහුදින හා වයඹ මුහුදු තීරයේ ධීවර රැකියවේ නිරත එක්දින යාත්‍රා හිමියෝ කියා සිටිති.

වෙන්නප්පුව ධීවර වරායෙන් බහුදින ධීවර යාත්‍රාවලට ඉන්ධන සපයා ගැනීමෙන් පසු ධීවර වරායෙන් එම ප්‍රමාණය සහතික කර හලාවත ධීවර දිස්ත්‍රික් කාර්යාලය වෙත යොමු කර ඉන් අනතුරුව ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ අධීක්ෂණයට ලක්කර පසුව ගණකාධිකාරිවරයාට යොමු කර අදාළ මුදල් ගෙවීම වර්තමානයේ පවතින ක්‍රමවේදයයි. අංශ කිහිපයකට යොමු කර තමන් වෙත මුදල් ලැබීමේදී ඇතැම් අවස්ථාවල මාස දෙකක පමණ කාලයක ප්‍රමාදයක් සිදු වන බව ඔවුන් පෙන්වා දෙන අතර, මෙම සහනාධාරය ඍජුවම ධීවර වරායෙන් ලැබෙන සේ ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළ බලධාරින්ගේ අවධානය යොමු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. උපරිමය රුපියල් 12,000ක මුදලකට යටත්ව ඩීසල් ලීටරයකට රුපියල් 25ක මුදල් සහනාධාරයක් ධීවර ජනතාවට ලබා දීමට කටයුතු කරයි. පසුගිය කාලයේ කූපන් ක්‍රමයකට අදාළ ඉන්ධන පිරවුම්හල්වලින් මෙම සහනාධාරය ලබා දීමට කටයුතු කෙරිණ. එහිදී එම ක්‍රමවේදය මඟින් නිලධාරින් මෙන්ම ධීවර ජනතාව වංචනික ලෙස ඉන්ධන ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් එම කූපන් ක්‍රමය වෙනුවට ඉන්ධන සහනාධාර ක්‍රමය පසුගිය රජය විසින් හඳුන්වා දෙන ලදි. මේ වන විටද ක්‍රියාත්මක කෙරෙන්නේ එම සහනාධාර ක්‍රමයයි.

පවතින මෙම තත්ත්වය පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතාගෙන් සිදු කළ විමසීමේදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඉන්ධන සහනාධාරය ලබා ගැනීමට ඉදිරිපත් කළ ඇතැම් අයැදුම්පත් අවිධිමත් අයුරින් නිසි ක්‍රමවේදයකින් තොරව ලබා දීමට කටයුතු කර ඇති බවයි. පසුගිය කාලයේ යම් ප්‍රමාදයක් සිදු වූ බවත්, මෙම මස හත්වැනිදා සිට නියමිත පරිදි ඉන්ධන සහනාධාරය ධීවර ජනතාවට ලබා දීමට කටයුතු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT