Wednesday, May 7, 2025
Home » ගිය ආණ්ඩුව කුණු කන්දක් වගේ ණය කන්දක් භාර දී ගියා
ධීවර අමාත්‍යාංශයේ ආයතන 7ක් කෝටි 238ක් ණයයි

ගිය ආණ්ඩුව කුණු කන්දක් වගේ ණය කන්දක් භාර දී ගියා

-ධීවර නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ

by sachintha
January 13, 2025 1:46 am 0 comment

ධීවර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන 7ක මේ වන විට පවතින කෝටි 238ක දැවැන්ත ණය ප්‍රමාණය හේතුවෙන් එම ආයතනවල දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. එම ආයතන වෙතින් විවිධ ආයතනවලට ගෙවිය යුතු නෛතික ගෙවීම් සහ බැරකම්වල අගය රුපියල් කෝටි 238ක් පමණ වන බව ධීවර අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. එම අමාත්‍යාංශය අනුබද්ධ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) ලංකා ධීවර සංස්ථාව, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සීමාසහිත සීනෝර් පදනම, නෝත් සී ලිමිටඩ් සහ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආයතනයන් වෙතින් මෙම මුදල වාණිජ බැංකු, අමාත්‍යාංශ සහ වෙනත් ආයතන වෙත ගෙවිය යුතු බව අදාළ වාර්තාවන්හි (2024.10.31දින දක්වා සැකසුණු) සඳහන් වේ.

එම වාර්තා අනුව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) පසුගිය වසරේ ඔක්තෝබර් මස 31 දින දක්වා පවතින බැරකම් ප්‍රමාණය රුපියල් මිලියන 106.54කි. ටෙන්ඩර තැන්පතු, මුදල් අමාත්‍යාංශයට නිරවුල් කළ යුතු අර්ථසාධක සඳහා ලබා දී ඇති මුදල්, ගෙවිය යුතු රඳවා ගැනීම් මුදල් ඇතුළු නෛතික ගෙවීම් හා බැරකම් ප්‍රමාණය රුපියල් මිලියන 28.79ක් වේ.

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් (EPF), සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් (ETF) ඇතුළු හිඟ ව්‍යවස්ථාපිත ගෙවීම් ප්‍රමාණය රුපියල් මිලියන 53.36 කි.

මේ වාර්තා සඳහන් කරන අන්දමට වැඩිම නෛතික ගෙවීම් හා බැරකම් ප්‍රමාණයක් සඳහන්ව ඇත්තේ ලංකාව ධීවර සංස්ථාව යටතේය. සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් යටතේ ගෙවිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 668.7කි. ගෙවිය යුතු සේවක පාරිතෝෂික මුදල රුපියල් මිලියන 25කි. වාණිජ බැංකු වෙතින් ලබා ගත් ණය මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 158කි. රුපියල් මිලියන 64ක බැංකු අයිරාවක්ද වේ. 2024.10.31 දිනට සඳහන් වාර්තා අනුව ලංකා ධීවර සංස්ථාවේ පවතින බැරකම් ප්‍රමාණය රුපියල් මිලියන 604.6කි. ඒ අනුව ධීවර සංස්ථාවේ මුළු නෛතික ගෙවීම් හා බැරකම් ප්‍රමාණය රුපියල් කෝටි 153කට ආසන්නය.

ධීවර අමාත්‍යාංශයට අනුබද්ධ සීමාසහිත සී නෝර් පදනමේ 2024.10.31 දිනට පවතින බැරකම් ප්‍රමාණය රුපියල් මිලියන 21.77කි. රුපියල් මිලියන 28.33ක බැංකු අයිරාවක්ද සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ගෙවීම් යටතේ රුපියල් මිලියන 0.95ක්ද විගණන ගාස්තු, නගර සභාවට ගෙවිය යුතු වරිපනම්, හිඟ වැට් ගාස්තු ඇතුළු තවත් ගෙවීම් යටතේ රුපියල් මිලියන 73.72ක් බව සඳහන්ය. නෝත් සී ලිමිටඩ් ආයතනයේ 2024.10.31 දිනට පවතින මුළු බැරකම් ප්‍රමාණය රුපියල් මිලියන 114.19කි. එහිදී වාණිජ බැංකු වෙතින් ලබා ගත් රුපියල් මිලියන 152.05ක ණය ප්‍රමාණයද ඇතුළුව නෛතික ගෙවීම් ප්‍රමාණය රුපියල් මිලියන 525.37කි.

එමෙන්ම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණය, වාණිජ බැංකුවකින් ලබා ගත් රුපියල් මිලියන 56.34ක ණය මුදලක්ද මෙම වාර්තාහි ඇතුළත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පෙන්වා දෙන්නේ පැවති රජයන් භාර දී ගියේ ධීවර අමාත්‍යාංශය සමඟ ණය කන්දක් බවයි. ධීවර අමාත්‍යාංශය වෙතින් ආයතන ගණනාවකට ඉතා විශාල ණය ප්‍රමාණයක් ගෙවිය යුතු බවත් පැවති රජය භාරදුන් මේ ණය කන්ද කුණු කන්දකට සමාන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය. CLEAN SRI LANKA වැඩපිළිවෙළ යටතේ මේ ආයතනත සුද්ද කළ යුතු බවත් එය කඩිනමින් කළ නොහැකි බවත් පෙන්වා දුන් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරන්නේ නිසි සැලැස්මක් ඇතිව මේ ණය කන්ද සුද්ද කරන බවය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT