Home » ජනපති හෙට චීන සංචාරය අරඹයි

ජනපති හෙට චීන සංචාරය අරඹයි

by sachintha
January 13, 2025 1:49 am 0 comment

ශ්‍රී ලංකා-චීන මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සංචාරයක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යයි.

ඒ අනුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (14) සිට එළඹෙන (17) දා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. මෙම සංචාරය අතරතුරදී, ජනාධිපතිවරයා, ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ අන්‍යෙන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන අතර චීන අගමැති ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි මහත්වරුන් හමුවීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයාගේ මෙම මහජන චීන සමූහාණ්ඩු සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන නිල සංචාරය අතරතුර ආයෝජන, විදුලිබල අංශය, ධීවර කර්මාන්තය සහ ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර සඳහා අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කිරීමට නියමිත අතර එම අවබෝධතා ගිවිසුම්වලට අමතරව සාකච්ඡාවට ගැනෙන ප්‍රධාන මාතෘකා අතරට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා චීනය දුන් සහාය මෙන්ම ආර්ථික ප්‍රකෘතිය සඳහා චීනයේ සහාය පිළිබඳ කරුණු ඇතුළත් වන බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පවසයි.

මෙම සංචාරයේ දී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ජනාධිපති දිසානායක සහ ජනාධිපති ෂී ජින්පිං මහත්වරු අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන අතර චීන අගමැති ලී කියැං සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ෂාඕ ලෙජි ද හමුවනු ඇත. යෝජිත අවබෝධතා ගිවිසුම්වලට කෘෂිකර්මාන්තය, සංචාරක, අධ්‍යාපනය සහ තාක්ෂණය වැනි අංශ ද ඇතුළත් වන බව ඇමැති හේරත් මහතා සඳහන් කරයි.

ධීවර අංශය පිළිබඳ අවබෝධතා ගිවිසුම මගින් ධීවරයන් සඳහා නිවාස යෝජනා ක්‍රමයක් ලබා දීම ඇතුළු සමාජ සුබසාධන අංශ ආවරණය කෙරෙන අතර, කෘෂිකර්මාන්තයේ දී නව තාක්ෂණය හඳුන්වාදීම සඳහා රජය සහාය ලබා ගනු ඇති අතර චීන සහාය ඇතිව සූර්ය බලශක්ති ව්‍යාපෘති හඳුන්වාදීම ද එක් අවබෝධතා ගිවිසුමකින් ආවරණය කෙරේ. අධ්‍යාපන අංශය පිළිබඳ සාකච්ඡා යටතේ නොමිලේ පාසල් නිල ඇඳුම් රෙදි ලබාගැනීම සහ පාසල් සඳහා ස්මාර්ට් බිත්ති පුවරු ව්‍යාපෘතියක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

ව්‍යාපාරික සංසඳ දෙකක් පැවැත්වෙන බවත්, ඉන් එකක් චයිනා හාබර්, සිනොපෙක් ඇතුළු රාජ්‍ය සමාගම් සහ හෝටල් අංශයේ සමාගම් ඇතුළු අනෙකුත් සමාගම් සමඟ පැවැත්වෙන බවත් ඇමැතිවරයා සඳහන් කරයි. ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා සිචුවාන් පළාතේ අගනුවර වන චෙන්ග්ඩු හි තාක්ෂණික උද්‍යාන සහ වාහන එකලස් කිරීමේ කම්හල් නැරඹීමට ද නියමිතය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT