Home » ක්ලීන් ශ්‍රී ලංකාවට කලින් ශ්‍රී ලංකාව

ක්ලීන් ශ්‍රී ලංකාවට කලින් ශ්‍රී ලංකාව

by sachintha
January 13, 2025 1:29 am 0 comment

ඉහත සිරස්තලය නෙත ගැටුණේ මුහුණු පොතේ ලියවුණු දේ අතර සැරිසරද්දීය. එහි අදහස වූයේ වර්තමාන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන තේරුම් ගැනීමට නම් ඊට පෙර පැවති “කලින් ශ්‍රී ලංකාව” හොඳින් හඳුනා ගතයුතු බවයි. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හඳුනා ගැනීමට එය ඉතා වැදගත් ප්‍රවේශයක් බව හැඟුණි.

“Clean Sri Lanka වැඩසටහන පරිසර පද්ධතිය පිරිසුදු කිරීම පිළිබඳ වැඩසටහනක් පමණක් නොවේ. මෙය සමස්ත ගරා වැටුණු, දිරාපත් වුණු සමාජ දේහයත්; අසරණභාවයට පත්වූ මාතෘ භූමියත් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සෑම අංශයකම සිදු කරන පිරිසුදු කිරීමකි. එය වඩාත් ගැඹුරින් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. සමස්තය තුළ පවතින ගැටලු හඳුනාගෙන, එය පිරිසුදු කිරීමකින් තොරව රටට යහපත් හෙට දවසක් උදා කළ නොහැකි ය.”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “ක්ලීන් ශ්‍රී ලංකා” සමාරම්භක උත්සවයේදී එලෙස ප්‍රකාශ කළේය.

අපි යළිත් මුලට යමු; එනම්: “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙර පැවති කලින් ශ්‍රී ලංකාවේ තත්ත්වය හඳුනා ගනිමු. මෙය සමස්ත සමාජ දේහය එකවර අංශක 180කින් උඩු යටිකුරු කළ හැකි යමක් නොවේ; පියවරෙන් පියවර, නිශ්චිත වැඩසටහනක් යටතේ ගමන් කළ යුත්තකි.

ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය, කර්මාන්ත, ක්‍රීඩා, සන්නිවේදනය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය යනාදි සියලු ක්ෂේත්‍ර යළි ගොඩනැඟිය නොහැකි පරිදි පතුලටම බිඳවට්ටා තිබූ බව තේරුම් ගැනීම මෙහිදී අතිශය වැදගත් ය. එකවර ක්ෂණික වෙනස්වීමක් අපේක්ෂා කරන ජනතාව මීට පෙර ඇති වූ සමාජ වෙනස්කම් අවබෝධ කර ගත්තේ ද යන්න ගැටලුවකි.

ගතවූ වසර 76ක කාල සීමාවේදී රටේ ආර්ථිකය බිඳවට්ටමින් තිබූ බව, රට පරිහානියට ගමන් කරමින් තිබූ බව අවබෝධ නොවූ ජනතාවට රට පිරිසුදු වෙමින්, ක්ලීන් වෙමින් පවතින බව අවබෝධ වීම යහපත් සන්නිවේදනයේ ලක්ෂණයකි.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනෙහි ප්‍රකාශිත දැක්ම වන්නේ ‘සිනාවෙන් පිරුණු මිනිසුන් වෙසෙන ලස්සන රටක්’ යන්නයි. එහි මෙහෙවර ලෙස දක්වා ඇත්තේ ‘සංවර්ධිත ජාතියක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සමාජීය, සදාචාරාත්මක හා පාරිසරික මුලපිරීම්වලදී ජාතික ප්‍රයත්නයන් ඒකාබද්ධ කිරීම, ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම හා පරිවර්තනයන් සිදු කිරීම’ යන්නයි. මෙය ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අංශ කිහිපයක් යටතේ දක්වා තිබූ සමස්ත වැඩපිළිවෙළෙහි දිගුවකි.

කවර තත්ත්වයක් යටතේ වුව ද මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ සංවර්ධන දිශානතිය තීරණය වන්නේ මෙකී වැඩපිළිවෙළ ඔස්සේ ය. ඒ තුළ අනුගමනය කරනු ලබන බොහෝ ක්‍රියාකාරකම් ජන සමාජයේ මිනිසුන්ගේ ඇඟට දැනෙන වෙනස්කම් වී තිබීම සතුටට කාරණයකි. මීට පෙර අවස්ථා කිහිපයකදී මේ තීරුවෙන් අප පෙන්වා දුන් පරිදි රටක් තීරණාත්මක වෙනස්කම් අත්පත් කර ගැනීමේදී ජනප්‍රිය තීන්දු මෙන් ම ජනප්‍රිය නොවන තීන්දු ද ගැනීමට සිදු වනු ඇත. ඒ පිළිබඳ අවබෝධය ජනතාවට තිබිය යුතු ය.

ආහාර, කුසගින්න, ආර්ථිකය, සෞඛ්‍යය වැනි පොදු සමාජයට ඉතා සංවේදී කරණාවලදී තීන්දු තීරණ ගැනීම ඉතා විමසිල්ලෙන් යුතුව සිදු කළ යුත්තකි. පසුගියදා ඇති වූ සහල් ප්‍රශ්නයේදී මීට පෙර පැවති කලින් ශ්‍රී ලංකාවේ සියලු වී ගබඩා පාළුවට යාමට ඉඩ දී තිබීමත්, රජය එකදු වී ඇටයක්වත් මිල දී ගෙන නොතිබීමත් යන කාරණය අමතක වී තිබේ.

සහල් ආනයනයට තීන්දු තීරණ ගැනීමට සිදු වූයේ ඒ තත්ත්වය අනුව ය; එය ද නිශ්චිත කාලසීමාවකට යටත්ව ය.

2025 නව වසර උදා වෙද්දී ගාලු මුවදොර පිටියේ පැවැතියේ “ක්ලීන් ශ්‍රී ලංකා” සමාරම්භක උත්සවයයි. මීට පෙර රජය විසින් එය අරගල භූමිය ලෙස නිශ්චිතව නම් කොට තිබූ භූමියකි. ඉතා සරල, චාම් උත්සවයක් බවට පත් වූ, ඒ සඳහා වියදම් වූයේ රුපියල් ලක්‍ෂ නවයක මුදලක් බව වාර්තා විය. වැරදි දත්ත හා තොරතුරු මත විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් බෙරිහන් දී තිබූ බව ද වාර්තා විය.

මේ අතර, මෙතෙක් නිශ්චිත රටාවකට නොපැවැති පාසල් වාර ක්‍රමය ලබන වසරේ සිට නිශ්චිත රාමුගත ස්වරූපයකට එක් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කොට තිබිණි. කවර තත්ත්වයක් යටතේ වුව ද රට යථා තත්ත්වයට පත්වීම ආරම්භ වී ඇත. ඒ සඳහා වන මුලපිරීමේ වෙනස සමාජයට දැනෙමින් පවතියි. විපක්ෂය විවිධ කතා පවත්වන්නේ ද එකී සමාජමය වෙනසේ, පරිවර්තනයේ ආරම්භය අන් සියල්ලට වඩා ඔවුන්ට වඩාත් හොඳින් දැනෙන හෙයිනි.

නිශ්චිත, විධිමත්, විනයානුකූල ප්‍රවාහන පද්ධතියක් ආරම්භ කිරීම සඳහා මූලාරම්භය පසුගියදා සිදු කෙරිණි. ඒ පිළිබඳව රටේ පොදු ජනතාවගෙන් මෙන් ම රථ වාහන ක්ෂේත්‍රයෙන් ද ලැබුණේ සුබදායක ප්‍රතිචාරයකි. මේ වැඩසටහනට විරෝධය පාමින් වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ බස් සංගම්වලට ද නිශ්චිත කාලසීමාවක් දීමට තරම් ශ්‍රී ලංකා පොලීසිය ද නිහතමානී වී තිබිණි.

මේ වැඩසටහනට ජනතා සහාය නිසි ලෙස නොලැබුණහොත්, ඊට ප්‍රතිවිරෝධාත්මක සන්නිවේදනය සමාජගත වීමට ඉඩ ඇත. එය එසේ නොවී, වඩාත් සාධනීය අර්ථය සන්නිවේදනය කිරීමේ හැකියාව මේ වැඩසටහන සතුව තිබිය යුතු ය.

එමෙන්ම මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ සහයෝගය වැදගත් කාරණයකි. බොහෝ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ලද විවිධ වැඩසටහන් බිඳවැටුණේ නිලධාරි පෙළැන්තියේ සහයෝගය නොලැබීම හේතුවෙනි. ඒ සඳහා නිශ්චිත වැඩසටහනක් සකස් කිරීම ද කාලීන අවශ්‍යතාවකි.

මෙතෙක් කල් පහළ සිට ඉහළට ක්‍රියාත්මක වූ වැඩසටහන් මෙවර ඉහළ සිට පහළට ක්‍රියාත්මක වීම නිසා එකී ප්‍රතිසංස්කරණවලට නිලධාරි පෙළැන්තියේ ප්‍රතිවිරෝධය එල්ල වීම නොවැළැක්විය හැකි කරුණකි. එය කළමනාකරණය අත්‍යවශ්‍ය වේ. එමෙන්ම, මෙතෙක් කලක් විවිධ ආයතනික ව්‍යාපෘති මඟින් මූල්‍යමය ප්‍රතිලාභ ලැබූ නිලධාරි පෙළැන්තිය මෙකී සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කර ගැනීම ද අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා වැඩසටහන් සකස් කිරීම ද අනිවාර්ය කරුණක් වී තිබේ. මන් ද යත්: මෙපමණ කලක් මහජන සේවය යන්න වචනවලට පමණක් සීමා වූ එකක් වීමත් එය දූෂිත එකක් වීමත් ය.

සත්තකින්ම මේ තබා ඇත්තේ ඉතා දුෂ්කර පියවරක පළමු අඩියයි. එය නිශ්චිත ගමනාන්තයක් පිළිබඳ අදහසකින් සහ නිශ්චිත මාර්ග සැලසුමකින් යුක්ත එකක් වීම ද අනිවාර්ය කාරණයකි. මේ වැඩපිළිවෙළ සඳහා ඉහළ සිට පහළට විවිධ මට්ටමේ ජන සාමාජිකයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය කරුණකි. එය දිනාගත යුත්තේ වැඩ කිරීම මගිනි. ඒ සඳහා වන අවබෝධය සහ වැඩ සැලැස්ම මේ වැඩසටහනේ ක්‍රියාධරයන් සතුව ඇතැයි අපි අපේක්ෂා කරමු.

අපි යළිත් මූලික කාරණය අවධාරණය කරමු. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක වීමේදී ඊට පෙර පැවති “කලින් ශ්‍රී ලංකාව” අවබෝධ කර ගැනීම අතිශය වැදගත් කාරණයකි. වෙනස් කිරීමට, අලුත් කිරීමට භාජනය වන්නේ මෙපමණ කලක් විවිධ මට්ටමේ දේශපාලකයන්ගේ පාපන්දුවක් බවට පත් වූ “කලින් ශ්‍රී ලංකාව” බව වඩාත් හොඳින් අවබෝධ කොටගත යුතු ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT