Home » ඩැෆඩිල් මලේ

ඩැෆඩිල් මලේ

by sachintha
January 13, 2025 1:47 am 0 comment

අපේ ගෙදර උඩ තට්ටුවට අලුත් කපල් එකක් ආවා. මමයි නංගියි ඒ කපල් එක හැඳින්නුවේ හැටපහයි තිස්පහ කියලා.

මිනිහට මාස හයක් හෙඩ් ඔෆිස් එකේ ට්‍රේනින් එකක් හම්බෙලා. ඒක කියනකොට මට හිනා ගියේ, වළ පයයි ගොඩ පයයි ඉන්න එවුන්ට මොන ට්‍රේනින් ද කියලා. මාස හයකට තමයි අපේ ගෙදර උඩ තට්ටුවට ආවේ.

අපේ නංගි මුලින්ම එයා එක්ක හිතවත් වුණා. අපේ අම්මයි නංගියි හැමදාම හවසට මල් පැළවලට වතුර දානවා, සාත්තු කරනවා. එයා උඩ බැල්කනියෙ ඉඳලා බලාගෙන ඉන්නවා.

මුල් දවස්වල උඩට වෙලා බලාගෙන හිටපු එයා ටික දවසකින් පහළට ඇවිල්ලා අම්මටයි නංගිටයි උදව් කරන්න පටන් ගත්තා.

දවසක් මම රෙස්ටුරන්ට් එකට යන්න ලෑස්ති වෙනකොට, මම දැක්කා එයා නංගිත් එක්ක මල් පැළ අතගගා ඉන්නවා. මල් පැළයක් පෙන්නලා මෙයා අහනවා “මේ දාස් නේද” කියලා. නංගි හිනා වෙලා මගේ දිහා බැලුවහම මං එයාට උත්තර දුන්නේ” ඔය දාස් නෙවෙයි ඩැෆඩිල්, ඩැෆඩිල් මල් කියන්නේ ඕවට” කියලා.

“සීරියස්ලි, මං ඒ නම අහල තියෙන සිංදුවකින් විතරයි.”

එදා ඉඳලා එයාට අපි අලුත් අනුවර්තන නාමයක් එකතු කරා.“ඩැෆඩිල් මල”. ඩැෆඩිල් මල ළඟ තිබුණ අන්කොමන් ගතිය මගේ සිතේ රටා අඳින්න පටන් ගත්තා.

සිත මා සොරාගෙන ගියේ

ඇයි ද ඩැෆඩිල් මලේ ….

හිම වාගෙ සුන්දර හසකැන්

පුරවා හදේ ….

මුමුණා කියන්නේ නල රැළින්

කඳු මානයේ …

ඔබ තාම මාගෙමයි

වසත් කල යෞවනියේ ….

මුලින්ම අපි යාළුවො විදියට පටන් අරගෙන ටික ටික ජීවිතයේ දේවල් කතා කරන්න පටන් ගත්තා. එයා මොනම වෙලාවකවත් එයාගෙ හස්බන්ට විරුද්ධ වෙන වැඩක් කරන්න කැමැති වුණේ නැහැ. එහෙම තමයි පවුල් ජීවිත ගත කරන ගැහැනු. හිතේ ආසාවල් මොනතරම් තිබුණත් ඒ හැමදේටම වඩා පවුල ගැන හිතනවා. ඒ වුණාට මට කිසිම දෙයක් අදාළ වුණේ නෑ. ඒත් එයා සීමා මායිම් තියාගෙන මාව ආශ්‍රය කරේ. ඒ මොන සීමාවල් තිබුණත් ඒ ඇස්වල ආදරේ පිරිලා තිබුණා. ආදරේ නොදැනෙන්න එයා රොබෝ කෙනෙක් නෙවෙයිනේ..

වැටෙන් එහා මල් පඳුරේ

ඔබ පිපී වැනේ අත නුදුරේ…

මිලින වුණත් ගන අඳුරේ

මල් නෙළන්න නම් තහනම්…

නංගි අපේ ආදරයට උදව් කරන කෙනා බවට පත් වුණා .අපේ ගෙදර සින්දුවලින් පිරිලා .උදේ ඉඳලා හවස් වෙනකල් මම සින්දු කියනවා .එයා අහගෙන ඉන්නවා .මං හිතන්නේ අපේ අම්මටයි තාත්තටයිත් මේ ආදරේ කාන්දු වෙන්න පටන් ගත්තේ මේ කාලෙදී .එයාලා මට මොනම හේතුවකටවත් උඩ තට්ටුවට යන්න එපා කියලා නියෝගයක් දැම්මා .

මේ නියෝගය නිසා වැඩිපුරම අපහසුතාවට පත් වුණේ මගේ ඩැෆඩිල් මල .එයා කියනවා අම්මා, තාත්තගේ මුණ බලන්නත් ලැජ්ජයිලු.

අපි හෙට ගැන පසුව හිතමු

අද හමුවී කතා කරමු …

ආල හිතට

උඩින් වැටෙන

කළු වලාව …

පිපිරී වැහි ඇද වැටුණත්

තැතිගැන්වී පලා නොයමු ..

හෙට හිරු හා හිනා වෙන්න බලාපොරොත්තුවක් වෙන්න …

කඳුළැලි උල්පත නිවන්න

ඈ බිඳකට ළහින් ඉන්න..

දීඝගාමිණීට උන්මාදචිත්‍රා ඉන්න එක්ටැම් ගෙයට යන්න පුළුවන් වුණා නම් ,මට බැරි ද අපේ උඩ තට්ටුවට යන්න. ඉතාම රහසිගත ක්‍රමවලින් මං උඩ තට්ටුවට ගියා. ඒ විතරක් නෙවෙයි ආදරේ අනන්තය හොයන්න පටන් ගත්තා .

මං ඔයාට හරි ලස්සන කතාවක් කිව්වා .ඔන්න අවුරුදු 70ක විතර සීයා කෙනෙකුට එයාගෙ වයිෆ්, ඒ කියන්නේ ආච්චි ගැන ආයෙමත් සරාගික හැඟීම් මෝදු වෙන්න පටන් ගත්තලු .මුලින් ආච්චි මේකට “නාකි විසේ” කිය කිය හිටියට ආච්චිත් පස්සෙ කැමැති වෙලා .

සීයා කිව්වලු මට අද රෑට ඔයා ගාවට ඇවිල්ලා එහෙම ඉන්න ඕන වුණොත්, මම හවසට අහන්නම් “අද රෑට කෝපි එකක් බොමු නේද” කියලා,

ඔයා ඕකේ නම් කියන්න “ටිකක් රෑ වෙලා හදලා දෙන්නම්” කියලා.

මේ කතාව ඇහුවට පස්සෙ එයා ඇස්වලින් කඳුළු පනිනකල් හිනා වුණා.

මේ වෙනකොට ජීවිතයෙන් හතරෙන් තුනක් එයා වෙලා හිටියේ. ඒත් එයා හැම වෙලාවෙම කිව්වේ මේක තේරුමක් නැති සම්බන්ධයක් කියලා.

වසත් කාලය මනරම්

ඔබ මලක් වෙනවානම්…

මගේ උයනේ නිකැළැල්

පීදිලා එනු හැමකල්…

මම දුරින් සුපිපෙන්නම්

ඔබට ළංවෙනු තහනම්

අනුන් සතු උයනේ මං

පීදිලා ලතැ වෙන්නම්… .

අහම්බෙන් දවසක එයාගේ හස්බන්ඩ් හොඳටම බීලා ඇවිල්ලා අපේ අම්මටයි තාත්තටයි බැන්නා, ළමයි හදාගන්න කියලා. වටේ ගෙවල්වලටත් ඇහුණා. අම්මා කිව්වේ එයාට පාරට ආපහු ඇඳුමක් ඇඳගෙන බහින්න ලැජ්ජයි කියලා. තාත්තා ගිටාර් එක අරගෙන පොළොවේ ගැහුවා. නංගි කිසිම දෙයක් කර කියාගන්න බැරිව බය වෙලා බලාගෙන හිටියා. මට ඇහුණා අර මිනිහා එයාට ගහනවා අතින් පයින්.

ඊට පහුවැනිදා උදේ ඒගොල්ලො එයාලගේ ඔක්කොම බඩු ටිකත් අරගෙන අපේ ගෙදරින් යන්න ගියා. ඒ යනකොට එයාගෙ ඇස්වල තිබුණේ තේරුම් ගන්න බැරි අමුතු හැඟීමක්. සමහරවිට එයා කියන්න ඇති මම බලෙන් යාළු වෙන්න එනවා කියලා. මට ඒ සම්බන්ධයෙන් නම් කිසිම තරහක්, වෛරයක් තිබුණේ නෑ.

මොකද එයා පවුල් ජීවිතය ආරක්ෂා කරගන්න එහෙම බොරුවක් කිව්වා කියන එක වැරැද්දකුත් නෑ. ඒත් මං ඇත්තටම දන්නවා එයා මට ආදරෙයි කියලා. ඒ වගේම මම දන්නවා එයා හස්බන්ඩ්ටත් ආදරෙයි කියලා. ඒත් මම ආදරේ එයාට විතරයි. ඒකයි මට මේ තරම් ඒ ආදරේ දරාගන්න බැරි.

ඇත්තටම එයා දැන් කොහේ ඇත්ද? මොනවා වුණත් මම එයාට කියපු සින්දු කොහෙන් හරි ඇහෙනකොට මාව මතක් වෙනවා ඇති.

අතීතය කියන්නේ ගිහින් නතර වෙන්න හොඳ තැනක් නොවුණට ඉඳලා හිටලා ගිහින් එන්න වටින තැනක්. එහෙම යන හැම වෙලාවකම මට එයාව හම්බ වෙනවා. මම සින්දු කියනවා එයා අහගෙන ඉන්නවා. එයා තමයි මගේ ජීවිතයේ මතක සටහන.

එයාටත් එහෙමද දන්නේ නැහැ.

සිත්තම් කරමින්

මනසේ ඔබෙ රුව

කවදා හෝ යළි දකින තුරා

රැව් පිළිරැව් දී

ඇසෙන ඔබේ හඩ

යළි මගේ සවනත

වැකෙන තුරා

විඳින්න දුන් ජීවිතය අරන් මම

විඳවන්න ද මේ භවය පුරා ..

දෙලොවක් අතරේ සරන ඔබේ සිත මෙතරම් සැලෙන් නැතුව ඇති

මට මගේ මුළු ලෝකයම නිසා ඔබ වැඩියෙන් දුක දැනෙනවා ඇති

විඳින්න දුන් ජීවිතය අරන් මම

විඳවන්න ද මේ භවය පුරා ..

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT