දින කිහිපයක් පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන ලොස් ඇන්ජලීන් නුවර ළැව් ගින්න තදාසන්න ප්‍රදේශවලටත් පැතිරීමේ අවදානමක් මතුවී ඇතැයි ද, අමෙරිකාවේ උපජනාධිපති කමලා හැරිස්, කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාර සුපිරි නළු ආනෝල්ඩ් ස්වාසනේගර් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන්ගේ මන්දිර පිහිටි බ්‍රෙන්ට්වුඩ් ප්‍රදේශයටත් ළැව්ගිනි අවදානමක් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිවාස හා ගොඩනැඟිලි, ආගමික දේවස්ථාන, රජයේ කාර්යාල සහ පෞරාණික වටිනාකමින් යුතු ස්ථාන රැසක් ද ගින්නෙන් විනාශ වී ඇතැයි ද, රථවාහන දහසකට වඩා ගින්නට හසුවී ඇතැයි ද වාර්තා වේ. අධික සුළං තත්ත්වය හේතුවෙන් මේ ළැව් ගිනි තත්ත්වය පාලනය කිරීමට අසීරු බවට කැලිෆෝනියාවේ ගිනි නිවන හමුදාව තහවුරු කර ඇති බවත්, මෙක්සිකෝව ඇතුළු අසල්වාසී රටවලින් ද සහාය ලබාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ලොස් ඇන්ජලීස් නුවර වඩාත්ම විනාශකාරී ළැව් ගින්න වනු ඇතැයි අනාවැකි පළ වී ඇති මේ විනාශය හේතුවෙන් ප්‍රාන්ත රජයට අමෙරිකානු ඩොලර් බිලියන 135-150 අතර අධික මුදලක පාඩුවක් විඳ ගැනීමට සිදුවනු ඇතැයි ද අනුමාන කර තිබේ.
ගතවූ දින කිහිපය තුළ ළැව් ගිනි තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමිවූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 13 දෙනකු අතුරුදන් වී ඇතැයි ද වාර්තා වේ. දැනටමත් අක්කර 37,000ක් ගින්නට බිලි වී ඇති බවත්, අවතැන් වූ පිරිස දෙලක්ෂයකට ආසන්න බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාවට සහ ආපදා කළමනාකරණ ඒකකයට අමතරව ස්ව්චේඡා සංවිධාන හා පුද්ගලයෝ විශාල පිරිසක් ද සහාය වෙමින් සිටින බවත්, විවිධ චෝදනා යටතේ සුළු සිර දඬුවම් ලබා සිටින සිරකරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවකට ඊට සහායවීම සඳහා කැලිෆෝනියා ප්‍රාන්ත බලධාරීන් අවසර දී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එය සිදුවන්නේ හදිසි ආපදා තත්ත්වයක් යටතේ සිරකරුවන්ගේ සහාය ලබාගැනීම සඳහා වසර 1946 දී පනතක් මගින් සම්මත කළ වැඩසටහනකට අනුව බවත්, මේ සඳහා එම සිරකරුවන්ට අතිරේක ගෙවීමක් ද සිදු කෙරෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ.