නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වසර 2024 තුළදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ පැමිණිලි 379ක් ලැබී ඇතැයි පාකිස්තානයේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශන කොමිසම නිවේදනය කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. වසර 2011 දී ස්ථාපිත කරනු ලැබූ එම කොමිසමට අනුව පසුගිය වසරේදී එවැනි අතුරුදන් කිරීම් 427ක් පිළිබඳ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි ද පාකිස්තාන් ටුඩේ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් විට එරට බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශන කොමිසමට පැමිණිලි 10, 467ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 8,216ක් විමර්ශන කර අවසන් බවත් පාකිස්තාන් ටුඩේ පුවත් සේවය සඳහන් කළේය.
එම විමර්ශන තුළින් අතුරුදන්වූ පුද්ගලයන් 6,599 දෙනකු සොයා ගැනීමට හැකිවී ඇතැයි ද, තවත් පැමිණිලි 1,617ක් වසා දැමීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ. තවත් පැමිණිලි 2,251ක් මෙතෙක් අවසන් කිරීමට නොහැකිව ඉතිරිව ඇති බව ද වාර්තා වේ.