Saturday, May 10, 2025
Home » ඉදිකටුපානදී රෝගාතුර වූ වන්දනාකරු දික්ඔය රෝහලේදී මරුට
දීර්ඝ නිවාඩුවේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට විශාල පිරිසක්

ඉදිකටුපානදී රෝගාතුර වූ වන්දනාකරු දික්ඔය රෝහලේදී මරුට

by sachintha
January 13, 2025 1:26 am 0 comment

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ ගෞතම ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පී.එස්. වීරසේකර මහතා පැවසීය.

වන්දනාකරුවන් පැමිණි වාහනවලින් නල්ලතන්නිය නගරයේ සියලුම රථ ගාල් පිරී ඇති බවත්, සෙසු වාහන නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ දුරට මාර්ගයේ දෙපස ගාල් කර ඇති බව ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

නල්ලතන්නිය ප්‍රදේශයට ඊයේ (12) දින දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් ද පැවති අතර, ශ්‍රී පාදය කරුණා කිරීමට විශාල වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් පැමිණි අයුරු ද දක්නට ලැබුණි.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට හැටන් ලංගම ඩිපෝව විශේෂ බස් රථ සේවාවක් දියත් කර ඇත. ගෞතම ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට පැමිණෙන ඇතැම් පිරිස් රැගෙන එන විවිධ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැටන් පොලීසිය මඟින් දුම්රිය ස්ථානයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර, ගෞතම ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණීමේදී මත්ද්‍රව්‍ය රැගෙන නොඑන ලෙසත්, ගෞතම ශ්‍රී පාදස්ථානය දක්වා ගමන් කරන මාර්ගය දෙපස කැළි කසළ බැහැර කිරීමෙන් වළකින ලෙසත් හැටන් පොලීසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවෙකු ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුර වී නල්ලතන්නිය වෙත රැගෙනවිත් දික්ඔය මූලික රෝහල වෙත ඊයේ (12) ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී ඇති බවත්, ජීවිතක්ෂයට පත් පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු බවත් නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපතිවරයා පවසා සිටියේය.

හැටන් – රංජිත් රාජපක්ෂ, මස්කෙළිය සමූහ – ගාමිණී ඉලංගන්තිලික

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT