Saturday, May 10, 2025
Home » කරුවලගස්වැව රෝහලේ ඖෂධ සංයෝජකයෙක් නැතුව රෝගීහූ අසරණයි

කරුවලගස්වැව රෝහලේ ඖෂධ සංයෝජකයෙක් නැතුව රෝගීහූ අසරණයි

by sachintha
January 13, 2025 1:26 am 0 comment

කරුවලගස්වැව අලුත්ගම ප්‍රාදේශීය රෝහලේ ඖෂධ සංයෝජකයකු වසරකට ආසන්න කාලයක් නොමැති වීමෙන් බාහිර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් පසු ලබා දෙන ඖෂධ තුණ්ඩුව රැගෙන රෝහලින් පිටත ඇති පෞද්ගලික ෆාමසි වෙත යාමට සිදුව ඇති බව ඔවුහු පවසති.

ග්‍රාම නිලධාරි වසම් 15කට අධික සංඛ්‍යාවක දස දහසකට වැඩි ජනතාවක් පදිංචි ගම්මාන 25ක මිනිසුන් වෙනුවෙන් ඇති ප්‍රධානතම රෝහල කරුවලගස්වැව අලුත්ගම ප්‍රාදේශීය රෝහලයි. අතිශය දුෂ්කර ගම්මාන රැසක ජනතාවක් පදිංචි ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් පිහිටා ඇති රෝහලක බාහිර රෝගීන් සඳහා ඇති රෝහලේ ඔසුසලේ වසර දෙකකට ආසන්න කාලයක් පුරා ස්ථිර ඖෂධ සංයෝජකයකු නොමැතිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් මහත් විඩාවට පත්ව ඇති බව ජනතාව පවසයි. දෛනිකව බාහිර ප්‍රතිකාර ලබා ගැනීමට 200කට වැඩි පිරිසක් පැමිණෙන බවත් එයින් සියලුම දෙනාව පරීක්ෂා කරනු ලබන වෛද්‍යවරයා ඔවුන්ට අදාළ රෝගී තත්ත්වයන්ට ගත යුතු ඖෂධ ලබා ගැනීමට නිකුත් කරනු ලබන තුණ්ඩුව ලබා දීමෙන් පසු වසා දමා ඇති රෝහල් ඔසුසල දෙස බලමින් හූල්ලමින් රෝහල ඉදිරිපිට ඇති පුද්ගලික ඔසුසල් වෙත ගොස් අදාළ ඖෂධ මිලදී ගැනීමට සිදුව ඇති බව දැඩි වේදනාවෙන් යුතුව පවසති.

මෙම තත්ත්වය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරිවරයා නිරන්තරයෙන් සෞඛ්‍ය බලධාරින් දැනුම්වත් කර ඇති වාතාවරනයක අලුත්ගම රෝහල් සංවර්ධන කමිටුවද ඒ පිළිබඳව වයඹ ආණ්ඩුකාරවරයා ඇතුළු ඉහළ සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දී ඇති බව එහි සභාපති අයි.බී.ටී. බණ්ඩාරනායක මහතා පවසයි.

සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම තත්ත්වය හේතුවෙන් රෝහලේ බාහිර රෝගීන් සඳහා රෝහල් කාර්ය මණ්ඩලයේ හෙදියන් හෝ වෙනත් අයකු හැකි විටකදී ඖෂධ ලබා දීම සිදු කරන බවත් සතියේ දිනක් පමණක් විශ්‍රාම ගිය ඖෂධවේදිනියක් සේවයට එක්වීම සිදුවන නමුත් දෛනිකව රෝහලේ ඖෂධවේදියකු සේවයේ යෙදිය යුතු බවයි.

මේ සමඟම රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරුන් දෙදෙනා මේ සියලු ගැටලු මැද පවතින කාර්ය මණ්ඩල අඩුපාඩු දරා ගනිමින් තම කටයුතු සිදුකරමින් පවතින බව රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින් පවසති. මේ පිළිබඳව අලුත්ගම ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර නිලධාරි වෛද්‍ය ශෂීක ධනංජය මහතාගෙන් කළ විමසීමේදී පවසා සිටියේ මෙවැන්නකි.

“මම අදාළ ගැටලුව සම්බන්ධව අදාළ වගකිව යුතු නිලධාරින් දැනුම්වත් කිරීම කර ඇති බවත් තමන්ට ඉහළ නිලධාරීන්ව දැනුම්වත් කිරීමකින් තොරව කිසිවක් පැවසිය නොහැකි බවයි.”

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT