Home » බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන් අරඹයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන් අරඹයි

by sachintha
January 13, 2025 1:30 am 0 comment

රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ වැඩසටහන් ගණනාවක් පෙරේදා (11) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් සංකල්පයට අනුව ඇරැඹි මෙම වැඩසටහන යටතේ මහජනතාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිබඳ යෝජනා හා අදහස්, බන්ධනාගාර නිලධාරීන් හා රැඳවූවන් සම්බන්ධ පැමිණිලි හා ඊට අදාළ ලේඛන උඩුගත කිරීම සඳහා බන්ධනාගාර නිල වෙබ් අඩවිය වන www.prisons.gov.lk යන වෙබ් අඩවියේ පැමිණිලි හා ප්‍රශංසා යන යොමුව වෙන්කරනු ලැබීය. එම ක්‍රියාවලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ අධීක්ෂණය යටතේ ඉතා කාර්යක්ෂමව සිදුකරනු ලබයි.

එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් සඳහා රාජකාරිමය වශයෙන් පෞද්ගලික ලිපිගොනු සම්බන්ධයෙන් ඇති ගැටලු හා දුක්ගැනවිලි විමසා බැලීම සඳහා නව ඒකකයක් බන්ධනාගාර මූලස්ථානය තුළ පිහිටුවීම ද මේ වැඩසටහන යටතේ සිදු කෙරුණු බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

මේ වැඩසටහනේ තවත් එක් පැතිකඩක් ලෙස පාරිසරික පවිත්‍රතාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන අතර දිවයිනේ සෑම බන්ධනාගාර ආයතන තුළ පෙරේදා (11) සිට සතියක කාලයක් ක්‍රමානුකූලව පවිත්‍රතා කටයුතු සිදු කිරීම අරඹන ලදි. එහි සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ බන්ධනාගාර පරිශ්‍රයේ පවිත්‍රතා කටයුතු පෙරේදා (11) පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරිණි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT