Tuesday, May 6, 2025
Home » බදු මුදල් කාබාසිනියා කළ දියගම ක්‍රීඩා සංකීර්ණය අද ගරා වැටිලා

බදු මුදල් කාබාසිනියා කළ දියගම ක්‍රීඩා සංකීර්ණය අද ගරා වැටිලා

-දූෂණ-අක්‍රමිකතා සොයන්න විමර්ශන කමිටුවක්

by sachintha
January 13, 2025 2:00 am 0 comment

හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණය පෞද්ගලික අංශයේ ආයෝජකයකු තෝරාගෙන ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස ජාතියට දායාද කිරීමට ඉදිරි මාස කිහිපය තුළදී වැඩ ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති සුනිල් ගමගේ මහතා පැවසීය. ඒ සඳහා මේ වන විට දේශීය හා විදේශීය ආයෝජකයන් කිහිප දෙනකු සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉන් වඩාත් සුදුසු ආයෝජකයා තෝරාගෙන ඉදිරි මාස කිහිපය තුළදී මෙහි ඉදිකිරීම් ආරම්භ කරන බව ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

එසේම මේ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට විමර්ශන කමිටුවක් කඩිනමින් පත් කොට ඊට සම්බන්ධ අයට තරාතිරම නොබලා දඬුවම් කරන බව ද ඇමැති සුනිල් ගමගේ මහතා මෙහිදී කියා සිටියේය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඉකුත්දා (11) හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

“දියගම ක්‍රීඩා සංකීර්ණය ඉතාම ඛේදනීය තත්ත්වයකට පත්වෙලා. අපේ භාෂාවෙන් කියනවනම් ගන්න දෙයක් නෑ. පිහිනුම් තටාක දෙකක් වතුර පුරවලා තියෙනවා. පිහිනන්න බෑ. වොලිබෝල් ක්‍රීඩාංගණය අතරමග නවත්වලා. ක්‍රීඩාංගණය ඇතුළේ කැලෑවක් මැද වසර හතරක පමණ සිට සීල් කරපු කන්ටේනර් පෙට්ටියක් ඇතුළේ මිලියන ගණනක් වටිනා විදුලිජනන යන්ත්‍රයක් හමු වුණා. ඒක ගෙනාපු දවසක්, භාරගත්තු කෙනෙක්, වැය කරපු මුදලක් පිළිබඳව කිසිම සටහනක් නෑ. ඔන්න ඔහොම තමයි හිටපු ගොඩක් ඇමැතිවරු වැඩ කරලා තියෙන්නේ. ඒ අය මේව දැකලවත් නෑ. මෙම ක්‍රීඩා සංකීර්ණය පාලනය වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ නම් පදනමකින්. එහි පරිපාලනයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාත් ඉඳලා තියෙනවා”

“මේ ක්‍රීඩා සංකීර්ණය ඉදිකරන්න කොපමණ මුදලක් වැය කළාද කියලා කිසිම සටහනක් නෑ. බැලූ බැල්මට බිලියන ගණනක් මුදල් වැය කරලා තියෙනවා. ඇතැම් අවස්ථාවලදී මිලියන 5000, 6000 වගේ මුදල් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගෙන තියෙනවා. ඉකුත් 2024 වසරේ මිලියන 100ක් වෙන් කරලා තිබුණා. මේ මුදල් වැය කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉඩම පවරගෙන නෙමෙයි. මහජනයාගේ බදු මුදල් නාස්ති කිරීමක්. මේ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා කළ හැකි තැනක් ලෙසට පත් කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට යා හැකි ක්‍රීඩකයන් තැනීම අපේ අරමුණයි. සමහරවිට මේ ක්‍රීඩාංගණයේ නම පවා වෙනස් කරන්න වේවි. නමට ගැළපෙන විදිහට වැඩ කරලා තියෙනවා. නමුත් නම පවතින විදිහට වැඩ කරල නැති නිසා. තවදුරටත් මේ නම යටතේ ඉදිරියට ගියොත් ජාත්‍යන්තරය කැමැති වන්නේ නෑ” ක්‍රීඩා ඇමැතිවරයා පැවසීය.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT