Sunday, May 11, 2025
Home » උතුරට ගොඩබට රෝහින්ග්‍යාවරුන්ගේ කතාව
ගවේෂණ

උතුරට ගොඩබට රෝහින්ග්‍යාවරුන්ගේ කතාව

by sachintha
January 14, 2025 1:05 am 0 comment

රෝහින්ග්‍යා යනු මියන්මාරයේ වෙසෙන සුළුතර මුස්ලිම් ජන කොට්ඨාසයකි. ඔවුන්ගෙන් බහුතරය රඛයින් ප්‍රාන්තයේ වෙසෙන අතර ඔවුන්ටම අනන්‍ය වූ භාෂාවක් සහ සංස්කෘතියකට හිමිකම් කියති. පරම්පරා ගණනාවක් මියන්මාරයේ වෙසෙන නමුත් ඔවුන් එරට පුරවැසියන් ලෙස පිළිගෙන නොමැත. මියන්මාරය ඔවුන් සලකන්නේ බංග්ලාදේශයේ සිට නීතිවිරෝධී ලෙස පැමිණි සංක්‍රමණිකයන් වශයෙන්ය. උන්හිටි තැන අහිමි වූ රෝහින්ග්‍යා වැසියන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් බංග්ලාදේශයේ රැඳී සිටිති. ඔවුන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට වරින්වර අනවසර සංක්‍රමණකයන් ලෙස ඇතුළුවේ.

මෑතකම සිදුවීම වන්නේ පසුගිය දෙසැම්බර් 19දා මුලතිව්, ‌මුල්ලෙවයික්කාල් මුහුදේ පාවෙමින් සිටියදී සරණාගතයන් 116 දෙනකු හමුවීමය. පැමිණි පිරිස අතර ගර්භිණී කාන්තාවක් හා දරුවන්ද වුහ. පලා ආ පිරිසෙන් 6 දෙනකු මුහුදු ගමනේදී මරණයට පත්ව ඇත. අප ඔවුන්ගේ කතාව අසන්නට මුලතිව් ගියෙමු. ඔවුන් සිටි රැඳවුම් කඳවුරට අපට යාමට අවසර හිමි නොවූවද ඔවුන්ට උදව් උපකාර කළ පාර්ශ්ව කිහිපයක් හමුවිය හැකි විය. මේ ඔවුන් අපට කී කතාවයි.

මුල්ලෙවයික්කාල් මුහුද දැඩි නිහඬතාවක ගිලී ඇත. රළ බිඳින රළු ගල්පර නොමැති අවිහිංසක වෙරළින් රළ බිඳුමක හඬක්වත් ඇසෙන්නේ නැත. වරින් වර වෙරළ කරා ඇදෙන ආගන්තුක ජලකඳ සමුදුර කරා ආපසු ගමන් කරයි.

වැටකෙයියා ආදී ගුඪ පෙනුමක් එක්කරන වදුලු ශාක කිසිවක් ද නැත. යුද කාලයේ දී මෝටාර් ප්‍රහාරයකට ගොදුරු නොවීමට වාසනාවන්ත වූ පොල් හා තල් ගොමු සහයෝගයෙන් ධීවර වාඩියට සෙවණ සදයි.

අප වෙරළ තීරයට පය තබන මොහොතේ රත් හිරු මුහුදු රේඛාවට සමීප වෙමින් තිබිණි. ධීවරයෝ ලොකු ඉස්සන් හා මා දැල් ට්‍රැක්ටර්වලට පටවමින් සිටියහ. ඈත දියඹේ මුහුදු බත් වූ “පාරා – 3” නෞකාවේ ශේෂ දිස් වේ. පසුගිය ආණ්ඩුවේ දේශපාලුවකු විසින් කොටස්කර යකඩවලට විකිණූ එහි දැන් ඉතිරිව ඇත්තේ බඳේ කොටස් පමණකි. ආහාරයට ගෙන පිඟානේ කොනක ඉතිරි කළ යෝධ මාළුවකුගේ කටු ගොඩක් ලෙස ඒවා දිස්වේ. දහස් ගණනක් මතක මියැඳුණු බිමක එය තවත් ඉතිරි බිතරක් පමණකි.

වරෙක අවසන් සටන සිදුවූ ස්ථානය වීම නිසා අවධානයට ලක් වූ මුල්ලෙවයික්කාල් වෙරළ නැවතත් පුවත් මවමින් සිටී.

පසුගිය 19 දා බංග්ලාදේශයේ සිට සංක්‍රමණිකයන් 116ක් රැගත් යාත්‍රාවක් දිවයිනට පැමිණීම එම සිදුවීමයි. 2008 වසරේ සිට වරින් වර රෝහින්‍යයා සංක්‍රමණිකයන් මෙරටට පැමිණියද විශාලම පිරිස පැමිණ ඇත්තේ මෙවරය.

ධීවරයන් මුහුදේ පාවෙන බෝට්ටුව දකින විට එය “පාරා -3” නෞකාව මුහුදු බත් වූ ස්ථානය ආසන්නයේ වෙරළේ සිට මීටර් 500ක පමණ දුරින් දිය‌ඹේ රැල්ල ඉහළ පහළ යමින් තිබී ඇත.

“මුහුදේ පාවෙමින් තිබෙන බෝට්ටුව ගැන අපට දැන ගන්න ලැබුණේ මූදු ගිය ධීවරයන් පිරිසකගෙන්. බෝට්ටුවේ හිටිය පිරිස නොදන්නා භාෂාවකින් කතා කරන බවට, හාහෝවක් තිබුණ නිසා හැමෝම වගේ වෙරළට දිව්වා. මම ඒ විස්තරේ ධීවර සමිතියේ අනෙක් අයටත් කිව්වා. අපි යනකොටත් නාවික හමුදාව එතැනට ඇවිත් හිටියා.”

මුල්ලෙවයික්කාල් දකුණ වසමේ ධීවරයකු වන 42 හැවිරිදි ලීනස් පාස්කර් දිගු කතාවකට මුල පුරමිණි. සිදුවීම දැනගත් ආකාරය අප හා පවසා සිටියේය.

ඉන්පසු ඔහු බෝට්ටුවක නැඟී බෝට්ටුව තිබූ ස්ථානයට ගමන් කර තිබේ.

“මේ විදිහෙ අත්දැකීමක් මෙයට කලින් අපට ලැබිලා නැහැ. මේක විදේශීය සංක්‍රමණිකයෝ මුලතිව් ප්‍රදේශයට පැමිණි මුල්ම අවස්ථාවයි. ඉන්දීය ධීවරයෝ අපේ මුහුදු තීරයට ආවට, මේ පිරිස ඉන්දියානුවෝ නොවන බව අපට බැලූ බැල්මට තේරුණා. ඉන්දීය ධීවරයෝ මුහුදු යන්න පාවිච්චි කරන්නේ ට්‍රෝලර් යාත්‍රාවලට වඩා මේ යාත්‍රා ලොකුයි. ඒ නිසා මේ අය ඉන්දියානුවෝ නොවන බව අපට තේරුණා.” ලීනස් කියා සිටියේය.

ගනේෂ් ගෝවින්දන් (අවු: 48) සිලාවතුර දකුණ ධීවර සමිතියේ සභාපතිවරයාය. ලීනස්ගේ කතාවට අත්වැල අල්ලමින් මෙසේ හඬ අවදි කළේය.

“බෝට්ටුවේ හිටිය පිරිස විදේශිකයෝ කියලා අපට තේරුණා. ඔවුන් කතා කළ භාෂාව තේරුණේ නැති නිසා ඒ අය ආවේ මොන රටින්ද කියලා දැන ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. අපි කෑම බීම දුන්නට කතා කළේ නැහැ. ඒ අය කතා කළ භාෂාව අපට මොනවවත් තේරුණේ නැහැ. මොවුන් මියන්මාරයේ පිරිසක් කියලා මුලතිව් නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පසුව අපට කිව්වා.” ලීනස්ගේ නැවතත් නැවැත්වූ තැන සිට කතාව ඇරඹීය.

බෝට්ටුවට ගොඩවූ ඔවුන් සංක්‍රමණිකයන් දිවයිනට රැගෙන එන ලෙස හමුදාවෙන් ඉල්ලීමක් කර ඇත.

“තවම ඉහළින් අවසර ලැබිලා නැහැ. ඒ නිසා සංක්‍රමණිකයන් ගොඩබිමට ගෙනියන්න විදිහක් නැහැ. කියලා නාවික හමුදාව අපට කිව්වා. ඉන්පස්සේ අපි ඔවුන්ට වුවමනා බිස්කට්, ග්ලූකෝස් වගේ දේවල් යාත්‍රාවට ගිහින් දුන්නා.

නාවික හමුදාව ඒකට බාධා කළේ නැහැ. පස්සේ වෛද්‍යවරු දෙදෙනෙක් ආවා. ඔවුන් බෝට්ටුවලින් යාත්‍රාවට රැගෙන ගියා. මුහුදු ගමනේ අපහසුව ඇර වෙන විශේෂ ලෙඩක් නැති බව අපට දැනගන්න ලැබුණා.”

සංක්‍රමණිකයන්ගේ තත්ත්වය ඔහු විස්තර කළේය.

“යුද්දෙ කාලේ අපි යාපනය, ත්‍රිකුණාමලය වගේ ප්‍රදේශවල සංක්‍රමණිකයන් හැටියට ජීවත් වුණා. ඒ නිසා අපට ඒ අත්දැකීම හොඳට හුරු පුරුදුයි.” ඔහු කියා සිටියේය.

මුලතිව් මුල්ලෙවයිකාල්වල පදිංචිව සිටි ඔවුන් යුද්ධය නිසා අවතැන්ව දුෂ්කර පාගමනකින් පසු පුදුමාතලන් දක්වා ගමන් කිරීමට සමත්ව ඇත. ඉන්පසු එහි සිට බෝට්ටුවකින් යාපනයට යෑමට උත්සාහ දරා තිබේ. දීර්ඝ ගමන් විඩාව හා කුස ගින්නේ සිටි ඔවුන්ට නාවික හමුදාවට මුණගැසීම අස්වැසිල්ලක්ව ඇත.

“වෙත්තලකේනි ප්‍රදේශයේදී නේවි එක අපට මුණ ගැහුණා. බඩගින්නේ හිටිය අපට හමුදාවෙන් බත් පැකට් දුන්නා. අපට ඒක පෙනුණේ දිව්‍ය භෝජනයක් වගේ”

තමන් මෙයට වසර 25කට පෙර මුහුණ දුන් අත්දැකීම සමඟ ඔහු මියන්මාර් සංක්‍රමණිකයන්ගේ අත්දැකීම මෙසේ සසඳයි.

“ඔවුන් දුටුව වෙලාවේ ඇති වූ හැඟීම වචනවලින් විස්තර කරන්න අපහසුයි. හාමත් වෙච්ච මිනිහෙක්ට හිතෙන දේවල් තේරෙන්නෙ ඒ අත්දැකීම තියෙන කෙනෙකුට විතරයි. යුද්දෙ කාලේ මුලතිව්වල හිටපු අපි යාපනය, ත්‍රිකුණාමලය වගේ ප්‍රදේශවලට බෝට්ටුවල නැඟලා ජීවිතය බේර ගන්න පැනලා ගියා. මේ මිනිස්සු අපට වඩා දුක් විඳපු පිරිසක් බව ඔවුන් බෝට්ටුවේ වැටිලා හිටිය විදිහෙන් තේරුණා. මැදි වයසේ පිරිමි ඇරුණහම අනෙක් හැමෝම ඔළුවවත් උස්ස ගන්න බැරිව බෝට්ටුවෙ තැන තැන වැතිරිලා හිටියා. ඔවුන් දින 4ක් 5ක් කෑම බීම නැතිව නිරහාරව හිටිය බව අපට වැටහුණා. කොච්චර බඩගින්නේ හිටියද කිව්වොත් අපි කෑම දුන්නට ඒ ගොල්ලන්ට කන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. ඒ නිසා ග්ලූකෝස් දුන්නා. ඒකවත් කටට හලා ගන්න බැරි වුණ නිසා සේලයින් ගිහින් දුන්නා.

ධීවර සංවිධාන මෙන්ම වෙළෙඳ සංවිධානද සංක්‍රමණිකයන්ට උපකාර කර ඇත. ධීවරයෝ බිස්කට් වගේ දේවල් බෝට්ටුවේ හිටිය අයට දෙන්න දුන්නා. මුල්ලෙවයික්කාල් වෙළෙඳ සංවිධානය පැය 4ක් ඇතුළත රුපියල් ලක්ෂයකට ආසන්න ආහාර ද්‍රව්‍යය එකතු කරලා දුන්නා.

“මේ අය සම්බන්ධයෙන් ගන්න ඕන පියවර තීරණය කිරීම රජයේ කාර්යයක්. අපට ඒකට බලපෑම් කරන්න බැහැ. නමුත් කවුරු හරි සංක්‍රමණිකයෙක් විදියට රටකට එනවා නම් ඒ අය රැකබලා ගැනීමේ වගකීමක් තියෙනවා. යුද්ද කාලේ අපේ මිනිස්සු සංක්‍රමණිකයෝ හැටියට ඉන්දියාවට ගියා. ඔවුන් අපට උදව් කළා. මිත්‍ර රටක් හැටියට කල්පනා කරලා අපේ රටට ආ මිනිස්සු කඳවුරක තබාගෙන රැකබලා ගැනීම හොඳ දෙයක්. යුද්දෙන් පස්සේ ගම්බිම්වල පදිංචි කිරීමට පෙර අපිත් කාලයක් කඳවුරුවල හිටියා. මේ අත්දැකීම අපටත් තියෙනවා. ඒ නිසා ඔවුන් හමුදා කඳවුරක තබා ගැනීම සම්බන්ධයෙන් මුල්ලෙවයික්කාල් ජනතාව හැටියට අපි විරුද්ධ නැහැ. අපිට පුළුවන් සහායක් අපි රජයට දෙනවා.

මුල්ලෙවයික්කාල් ධීවරයන් ආර්ථික වශයෙන් යහමින් ආදායම් ලබන්නන් නොවේ. ඔවුන් මුහුණ දෙන ගැටලු පුළුල්ව සාකච්ඡා කළ යුතුය. එහෙත් ඔවුන් තමන් වැනි තවත් මිනිස් කොටසක් දෙස බලන්නේ විවෘත මනසකිනි.

මේ ආකාරයට තවත් මියන්මාරයේ සංක්‍රමණිකයන් මෙරටට ආවොත් ඔවුන් සම්බන්ධයෙන් මේ ආකාරයටම ක්‍රියාකරන්නේ දැයි යොමු කළ පැනයට ඔවුන් දුන් පිළිතුර කිසි දිනෙක අමතක නොවන්නකි.

“සීයක්, දාහක් නෙමෙයි ලක්ෂයක් ආවත් අපි උදව් කරනවා. අපි ඉන්නේ ඒකට තමයි.”

රෝහින්ග්‍යා  සංක්‍රමණිකයන්ට අපේ රටේ පුරවැසිබව ලැබිය හැකිද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර පවතින එකඟතාව අනුව සරණාගතභාවය පතා පැමිණෙන විදේශිකයන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ තාවකාලිකවයි. ඔවුන් දේශපාලන රැකවරණය පතන්නන් (Asylum seekers) සහ සරණාගතයන් (Refugees) ලෙස දෙයාකාරයකට වර්ග කෙරේ.

සරණාගතභාවය පතා එන තැනැත්තන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය.

එම කාර්යාලය ඔවුන් පිළිබඳව සොයා බැලීමක් සිදු කරයි. එම ක්‍රියාවලියෙන් පසු ඔවුන්ගේ අයදුම්පත් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුවේ.

සරණාගතභාවයක් පිළිගනු ලැබුවකුට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ රැකියා කිරීම, ළමුන් පාසල් යැවීම, නිවාස මිලදී ගැනීම කළ නොහැකිය.

සරණාගත අයදුම්පත ප්‍රතික්ෂේප වුවහොත් ඔවුන් පැමිණි රටට පිටුවහල් කෙරේ.

පිළිගැනීම සිදු වුවහොත් වෙනත් රටක් විසින් භාර ගන්නා තෙක් ඔවුන්ට ශ්‍රී ලංකාවේ තාවකාලිකව රැඳී සිටීමේ අවස්ථාව හිමිවේ. එලෙස තාවකාලිකව රැඳී සිටීමට ගත වන කාලය මාස කිහිපයක සිට වසර කිහිපයක් දක්වා වෙනස් විය හැකිය.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන්ට මෙරට පුරවැසිභාවය හිමි නොවේ. සරණාගතභාවය පතා ශ්‍රී ලංකාව වෙත පැමිණි පුද්ගලයන්ට ඇතැම් අවස්ථාවල රජයේ රෝහල්වල මූලික සෞඛ්‍ය පහසුකම් ලබා දී තිබුණ ද ඒ හැර ඔවුන්ට වෙනත් කිසිදු මූල්‍යාධාරයක් හිමි නොවේ. එලෙස පහසුකම් ලබාදීමට රජයේ බැඳීමක් ද නැත.

ඒ සම්බන්ධ තත්ත්වය පිළිබඳ මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු මෙසේ අදහස් දක්වා සිටියේය.

“සංක්‍රමණිකයන් මෙරට රැඳී සිටින කාලය තුළ අවශ්‍යය නිවාස හා අනෙකුත් පහසුකම් සලසා ගැනීම ඔවුන් විසින්ම කළ යුතුයි. ඒ සඳහා රජයෙන් වියදම් කිරීමක් සිදු වෙන්නෙ නැහැ. ඔවුන්ට එයට ආර්ථික හැකියාවක් නැති නිසා හිතවතුන්, මානව හිමිකම් සංවිධාන සහ ආගමික සංවිධාන උදව් කිරීම කරනවා. ඒ අය මේ රටේ ඉන්නේ සීමිත කාලයකට පමණයි. ඒ ඉන්න සුළු කාලයේදී ඔවුන් අපේ රටට සුළුවට හෝ විදේශ විනිමය ගෙනෙනවා.

ඇත්තටම මෙතැනදි වැදගත් වෙන්නේ අපේ රටේ ප්‍රතිරූපයයි. පසුගිය ආණ්ඩුවලට මානව හිමිකම් සම්බන්ධයෙන් තිබුණ ප්‍රතිරූපය හොඳ එකක් නෙමෙයි. නමුත් මේ ආණ්ඩුව මානව හිමිකම් ගැන දියුණු ආකල්පයක් අනුගමනය කරන බව පෙනෙනවා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව අප ආගන්තුකයන්ට හොඳින් සලකන රටක් බව ලෝකයම දන්නවා. ඒ ආගන්තුක සත්කාරය වැඩියෙන්ම තිබිය යුත්තේ තරු පහේ හෝටල්වල ඉන්න සංචාරකයන්ට නොවෙයි, මේ වගේ අසරණ වුණු, ජීවිත තර්ජන එල්ල වුණු පුද්ගලයන්ටයි. මේක ඒ පණිවුඩය ලෝකයටම දෙන්න ලැබුණු අවස්ථාවක්” යැයි ඔහු කියා සිටියේය.

විවිධ හේතු මත විදේශයන්ට සංක්‍රමණය වීම ආගන්තුක දෙයක් නොවේ. මෙරට ජීවත් වන සමහර කොටස් ද වෙනත් රටවලට සංක්‍රමණයවී ඇත. වර්තමාන ලෝක රටාව තුළ ජගත් පුරවැසියකු බිහිව ඇත්තේ එම පසුබිම තුළය.

මියන්මාර් සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට මුල්වරට පැමිණ ඇත්තේ 2008 වසරේ මාර්තු මසය. ඔවුන්ට 2012 වසරේදී අමෙරිකාවේ පදිංචිය හිමි විය. 2013 වසරේදී තවත් මියන්මාර් සංක්‍රමණිකයන් 32ක් දිවයිනට පැමිණි අතර ඔවුන්ට 2014 දී හා 2015 දී පදිංචිය හිමි විය. 2017 අප්‍රේල් 30දා කන්කසන්තුරේ ප්‍රදේශයට තවත් රොහින්ග්‍යා සංක්‍රමණිකයන් පිරිසක් පැමිණි අතර ඔවුන් ද මේ වන විට වෙනත් රටකට යවා ඇත.

දැනට ලංකාවේ ඉතිරිව සිටින්නේ 2023 වසරේ පැමිණි 100කට ආසන්න පිරිසක් බව මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු පවසා සිටී. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් හා අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සමාන ආකාරයකට නොවේ. මුදල් හෝ වෙනත් ප්‍රයෝජන අපේක්ෂාවෙන් ජාතිකත්වය හෝ ස්ථිර පදිංචිය හිමිව නැති රටකට නීති විරෝධීව ඇතුළුවීම අන්තර් ජාතික නීතිය අනුව වරදකි.

මියන්මාරයේ සංක්‍රමණිකයන් පිළිබඳ ගැටලුව තනි රටකට පමණක් අදාළ ප්‍රශ්නයක් නොවේ. ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය වැනි රටවලට ද එයට මුහුණ දීමට සිදුව තිබේ.

මියන්මාරයේ රොහින්ග්‍යානු සංක්‍රමණිකයන් පිළිබඳ ගැටලුව ශ්‍රී ලංකාවේ දී ජාතිවාදී ස්වරූපයෙන් අන්තවාදී බල දේශපාලනඥයන් භාවිත කිරීම නිසා වඩාත් සංකීර්ණ ස්වරූපයක් ගෙන තිබේ.

විදේශ කටයුතු, සම්බන්ධතා සහ විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා සංක්‍රමණිකයන් මුණගැසී ඔවුන්ට අවශ්‍යය පහසුකම් සැලසීමට මූලික කියා කළ ප්‍රදේශයේ ජනතා නියෝජිතයෙකි. මේ ඔහුගේ හඬය.

“රොහින්ග්‍යානු සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් පිළිබඳ ගැටලුව ජාතිවාදී ස්වරූපයෙන් මතු කිරීමට විපක්ෂයේ දේශපාලනඥයන් උත්සාහ කරනවා. ජාතිවාදී බිල්ලන් මවන්න ඔවුන්ට යළිත් වුවමනායි. සමගි ජන බලවේගයේ සමහර දේශපාලනඥයන් එය මුස්ලිම්වරු මුහුණ දෙන ප්‍රශ්නයක් හැටියට අර්ථකථනය කරන ආකාරයක් දකින්න ලැබෙනවා. ඒ වගේම සරත් වීරසේකර වැනි පොහොට්ටුවේ දේශපාලනඥයන් ආගමික ප්‍රශ්නයක් විදියට අදහස් දක්වා තිබෙනවා. ඒ අන්ත දෙකම අපි ප්‍රතික්ෂේප කරනවා.

ජාතිවාදී ප්‍රවේශයකින් මේ දිහා බලන්නේ එක්කෝ මේ ප්‍රශ්නය ගැන අවබෝධයක් නැති උදවිය. එහෙම නැත්නම් බලය ලබා ගන්න කෙටි ක්‍රම හොයන උදවිය. මියන්මාරයේ ප්‍රශ්නයක් නැතිව ජීවත් වන මුස්ලිම්වරු සිටිනවා. මේක මුස්ලිම් ප්‍රශ්නයක් නම් කොටසකට විතරක් ප්‍රශ්නයක් ඇති වෙන්න විදියක් නැහැ. රොහින්‍යාවරුන්ගේ ප්‍රශ්නය විශේෂ එකක්. එය මුස්ලිම් වීම නිසා ඇතිවූ ප්‍රශ්නයක් නෙමෙයි.

ඒ වගේම සරත් වීරසේකරලා වගේ කොටස් ආගමික ගැටලුවක් හැටියට මේ ප්‍රශ්නය මතු කිරීමටත් අපි විරුද්ධයි. 2017දි බෞද්ධ අන්තවාදීන් මේ සංක්‍රමණිකයන් රඳවා සිටි ස්ථානවලට පහර දුන් බව අපට මතකයි. ඒ වෙලාවෙදි අප ඒ අන්තවාදය ප්‍රතික්ෂේප කර ප්‍රකාශයක් නිකුත් කළා. අදටත් අපි ඒ ස්ථාවරයේ ඉන්නවා. පොහොට්ටුවේ දේශපාලනඥයන් ආගමික, වාර්ගික හැඟීම් බලය ගන්න පාවිච්චි කළ ආකාරය අප දැක තිබෙනවා. ඒවායේ අමිහිරි අත්දැකීම් අපට තිබෙනවා. මේ ප්‍රශ්නය දිහා අපි පටු විදියට දකින්නේ නැහැ.

රටේ නීතිය අනුව හා අන්තර්ජාතික නීතිය අනුව අපි කටයුතු කරනවා. අප ඔවුන් සම්බන්ධයෙන් දැනටමත් මානුෂිකව පියවර ගෙන තිබෙනවා. ආහාර, සෞඛ්‍යය ඇතුළු අනෙකුත් පහසුකම් සලසා තිබෙනවා. අසරණභාවයට පත්වූ පිරිසකට අප පිටුපාන්නේ නැහැ. නමුත් අපට ඔවුන්ට උපකාර කරන්න පුළුවන් යම් සීමාවකට පමණයි. අපි විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්න රටක්.

සුළු පිරිසකට අපට උපකාර කරන්න පුළුවන්. නමුත් විශාල පිරිසක් රැකබලා ගැනීම කරන්න බැහැ. මා මේ පිරිස සමඟ කතා බහා කළා. ඔවුන් එහිදී ශ්‍රී ලංකාවට පැමිණි බව ඔවුන් ප්‍රකාශ කළා. ඔවුන් පැමිණ ඇත්තේ වෙනත් රටකට යන අපේක්ෂාවෙන් නෙවෙයි. ඒ නිසා අනාගත ප්‍රශ්න ඇති නොවන ආකාරයට පවතින නීතිය තුළ ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම‌ට අදහස් කරනවා” යැයි කීය.

චන්දන ජයවීර

ඡායාරූප – රුක්මාල් ගමගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT