Home » දෙවිනුවර ව්‍යාපාරිකයා ඝාතන කුරුමානම වරදී

දෙවිනුවර ව්‍යාපාරිකයා ඝාතන කුරුමානම වරදී

by sachintha
January 14, 2025 1:03 am 0 comment

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් දෙවිනුවර තල්පාවිල පාරේ මිරිස්වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ අවස්ථාවක් ව්‍යර්ථවී ගොස් ඇතැයි ගන්දර පොලීසිය පවසයි.

දෙවිනුවර පුරාණවැල්ල ධීවර වරායේ ධීවර නීතිගත සංස්ථා කාර්යාලයේ සේවය කරන පුද්ගලයකු ඉලක්ක කොට පෙරේදා (11) සවස මෙම වෙඩි තැබීම සිදුකිරීමට උත්සාහ කර ඇති බවත්, යතුරුපැදිකරුවන් මාතර දෙස සිට පැමිණ ඇති බවත් මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බවත් ගන්දර පොලීසිය පවසයි.

යතුරුපැදියෙන් පැමිණුන නාඳුනන තුවක්කුකරුවන් පෙරේදා (11) පස්වරු 4.45ට පමණ අදාළ නි‍ෙවස ඉදිරිපිට යතුරුපැදිය නතර කර බලා සිට ඉලක්ක ගත පුද්ගලයා නි‍ෙවසින් පිටතට පැමිණ ගේට්ටුවෙන් එළියට විත් මාර්ගය දෙස බලනවාත් සමඟ යතුරුපැදියේ පසුපස සිට ඇති වෙඩික්කරු නිවෙස් හිමියාට පිස්තෝලයකින් වෙඩි තබා ඇතත් එය ක්‍රියාත්මක වී නැති අතර තමන්ට වෙඩි තැබීමට උත්සාහ කරනු දැක ඇති නිවෙස් හිමියා නැවත නිවෙස වෙතට දුව ගොස් ඇතැයි පොලීසිය පැවසුවේය.

මූලික පොලිස් විමර්ශ‍නවලදී අනාවරණය වී ඇත්තේ වෙඩික්කරු විසින් දෙවරක් වෙඩි තබනු ලැබ ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක වී නැති බව හා එහි උණ්ඩයක් බිම හැලීමෙන් පසු වෙඩික්කරු ඉදිරියට දිව ගොස් එම උණ්ඩය ද අහුලාගෙන නැවත යතුරුපැදියේ නැග පලා ගොස් ඇති බවත්ය.

වෙඩි තැබීම සිදු කිරීම සඳහා පැමිණ ඇති පල්සර් වර්ගයේ යතුරුපැදිය පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් විසින් හඳුනාගෙන ඇති අතර එය අංක තහඩුව වෙනස් කොට මීගහතැන්න පොලිස් වසමේ ලියපදිංචි යතුරුපැදියක අංක තහඩුවක් යොදා පැමිණ ඇති බවත් එම අංකය සහිත යතුරුපැදිය මේ වන විට පුත්තලම ප්‍රදේශයට විකුණා ඇති එකක් බවත් පොලීසිය පැවසුවේය.

මෙම වෙඩි තැබීම සිදු කිරීමට උත්සාහ ගත්තේ කුමන හේතුවක් අරබයාද යන්න මේ වන විට හඳුනාගෙන නැති අතර ගන්දර පොලිසිය, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, මාතර අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා බුද්ධි අංශ ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

 

ගන්දර සමූහ ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT