Saturday, May 3, 2025
Home » රවිඳුගෙන් ද්විත්ව ශතකයක්

රවිඳුගෙන් ද්විත්ව ශතකයක්

by sachintha
January 14, 2025 1:48 am 0 comment

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය තෙවැනි සතියේදී ජයග්‍රහණ හිමි කර ගැනීමට පොලිස් සහ පානදුර ක්‍රීඩා සමාජ සමත් විය.

තෙවැනි සතිය යටතේ බදුරලියට එරෙහිව මග්ගොන පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට පොලීසිය සමත් වූ අතර, පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 5ක ජයක් වාර්තා කළේ පානදුර පැවති රාගම ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදීය. මේ දෙපිල සිය දෙවැනි ජයග්‍රහණ වාර්තා කළ අතර, මේ ජය සමඟ පොලිස් පිල ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගත්තේය. පානදුර පිල තෙවැනි ස්ථානයට පත් විය.

හලාවත – මීගමුව, කෝල්ට්ස් – ඒස් කැපිටල්, කැන්ඩි කස්ටම් – එස්එස්සී, නුගේගොඩ – සීසීසී, බීආර්සී – කුරුණෑගල යූත් සහ එන්සීසී – ටැමිල් යූනියන් තරග ජය පරාජයෙන් තොරව නිමා විය.

නිමා වූ සතියේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ රවිඳු රසාන්ත සමත් වූයේ මංගල ද්විත්ව ශතකය වාර්තා කරමිනි. මෙවර තරගාවලියේ වාර්තා වූ දෙවැනි ද්විත්ව ශතකය මෙය වූ අතර, ඒස් පිලට එරෙහි තරගයේදී රවිඳු පන්දු 343කින් ලකුණු 244ක් රැස් කළේ හතරේ පහර 26ක් සහ හයේ පහරක් සමඟිනි. මින් පෙර පළමු පෙළ තරග 13කට ක්‍රීඩා කර තිබූ 23 හැවිරිදි රවිඳුගේ මංගල ශතකය ද මේ ඉනිමේදී වාර්තාවූ අතර, එය ද්විත්ව ශතකයක් වීම කැපී පෙනිණි. ඔහුට අනගි සහායක් දුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 130ක් රැස් කළ අතර, දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 225ක සබඳතාවක් බිහි විය.

සෙසු තරගවලදී සහන් කෝසල (කැන්ඩි කස්ටම්ස්), අවිෂ්ක පෙරේරා (නුගේගොඩ), ලසිත් කෘස්පුල්ලේ සහ සොනාල් දිනූෂ (සීසීසී) සහ නිරෝෂන් දික්වැල්ල (එන්සීසී) ශතක රැස් කළ අතර, තනුක දාබරේ (ඒස්) සහ රිසිර වීරසූරියට (බීආර්සී) එක් ලකුණකින් ශතකය අහිමි වූහ.

පොලිස් පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ 24 හැවිරිදි දිලුම් සුදීර මේ සතියේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වූයේ බදුරලිය දෙවැනි ඉනිමේදී ලකුණු 50කට 8ක් දවා ගනිමිනි. සිය පළමු පෙළ තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම මෙන්ම, පළමු ඉනිමේදී කඩුලු 5ත් සමඟ ලකුණු 97කට කඩුලු 13ක් බිඳ දැම්මේ පළමු පෙළ තරගයක දිය හොඳම පන්දු යැවීම ද සටහන් කරමිනි. පානදුර පිලේ මොහොමඩ් ඩිල්ෂාඩ් ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් දවාගත් අතර, චලන ද සිල්වා (බදුරලිය) සහ රොෂාන් ජයතිස්ස (ඒස්) ඉනිමකදී කඩුලු 5 බැගින් දවා ගත්හ.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT