රටක් සංවර්ධනය කරා පියනඟද්දී සෑම ක්ෂේත්රයකම අත්පත් කරගනු ලබන සංවර්ධනය අතිශයින් වැදගත්ය. එයින් ක්‍රීඩාව නම් වූ ක්ෂේත්රය සුවිශේෂය.
එහෙත් අප රටේ ක්‍රීඩාව පිළිබඳ මෙපමණ කලක් ගොඩනැඟී තිබුණු ප්‍රතිරූපය එතරම් යහපත් එකක් නොවේ. ඔලිම්පික් පදක්කමක් නොව, ආසියානු ක්‍රීඩා උලෙළක පවා ශ්‍රී ලංකාවේ නම සලකුණු වූයේ ඉතා පහළ තැනකය.
ක්‍රීඩාව දේශපාලනීකරණය වීම ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්රයේ බිඳවැටීමට බලපෑ ප්‍රධානතම හේතු සාධකයයි. දේශපාලන බලපුළුවන්කාරකම මත ක්‍රීඩා ඇමැතිවරුන්ගේ හා විවිධ දේශපාලනික අතකොළු ක්‍රීඩා ක්ෂේත්රයේ මහ පුටු දැරීම මෙතෙක් ඊට බලපෑ ප්‍රධානතම හේතුවකි.
පසුගියදා අසන්නට ලැබුණු හේතු සාධක දෙකක් මත ක්‍රීඩා ක්ෂේත්රයේ එකී බිඳවැටීම පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකි විය. ජාතික ඔලිම්පික් කමිටු මහලේකම්වරයා විවිධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් තනතුරෙන් ඉවත් කිරීම ද හෝමාගම, දියගම ක්‍රීඩා සංකීර්ණයේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ හෙළිදරව් වීමද එහි ප්‍රධානතම හේතු සාධක දෙකකි. දේශපාලනික වුවමනාවන් මත ජනතා බදු මුදල් සහ ජාතික ධනය රුපියල් බිලියන ගණන් හිතුමතේ විනාශ කර දැමීම පිළිබඳ උදාහරණ ඕනෑ තරම් පසුගිය කාලය තුළ සපයා තිබිණි.
රාජ්‍ය පාලකයන් ලෙස පත් වූ විවිධ දේශපාලනඥයන් තමන්ගේ දේශපාලනික ප්‍රතිරූපය ඉස්මතු කර ගැනීමට ජාතික ධනය අවභාවිත කළ අවස්ථාවක් ලෙස හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම සැලකිය හැකිය.
2011 වසරේ ඉදි කරන ලද මේ ක්‍රීඩා සංකීර්ණය සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 487කි. තුන්දහසක ප්‍රේක්ෂක පිරිසකට එකවර තරග නැරඹිය හැකි වන පරිදි ඉදි කර ඇති මේ ක්‍රීඩාපිටිය අද වන විට මුළුමනින් ම ජරාවාස වී ගරාවැටෙන තත්ත්වයට පත්ව තිබේ.
වර්තමාන ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු පිරිස පසුගියදා කළ නිරීක්ෂණ චාරිකාවකදී තැන තැන විනාශ වෙමින් තිබූ ජාතික සම්පත් හඳුනාගෙන තිබිණි. රුපියල් මිලියන ගණනක් වටිනා විදුලි ජනක යන්ත්‍රයක් තිබුණේ කැලෑවට වැසුණු කන්ටේනරයක් තුළ ය. තරග පැවැත්වීමට ඉදි කළ ධාවන පථය පතුරු ගැලවී තිබිණි.
මේ සියල්ලෙන් නිරූපණය වූයේ ඒවායේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවයි. ජාතික ව්‍යාපෘති ආරම්භ කර, ඒවා ඉදි කිරීම තම දේශපාලන ගජමිතුරන්ට දී ජාතික ධනය කාබාසිනියා කිරීම් පිළිබඳ එක් උදාහරණයක් පමණකි මේ.
දියගම ක්‍රීඩා සංකීර්ණයට යොදා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නමය. මේ නම යෙදීම පිළිබඳව ද අපූරු කතාවක් තිබේ.
ලලිත් කොතලාවල නමැති ව්‍යාපාරිකයා ඒ බව ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී සඳහන් කොට තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇරියුමකින් ඔහු හමුවීමට ගිය අවස්ථාවේදී මේ ක්‍රීඩා සංකීර්ණයට අවශ්‍ය මුදල් සපයා දෙන ලෙස ඉල්ලා සිටි බවත්, එහිදී දෙවරක් නොසිතා රුපියල් කෝටි ගණනක චෙක්පතක් ලියාදුන් බවත් ඔහු සඳහන් කොට තිබිණි. එහිදී වූ පොරොන්දුව වී තිබුණේ ක්‍රීඩා සංකීර්ණයට ලලිත් කොතලාවලගේ නම යෙදීම බව එහි සඳහන් විය. එහෙත් ඔහු එම රූපවාහිනී සාකච්ඡාවේදී සඳහන් කළේ පසු කලෙක එම ක්‍රීඩාංගණය මහින්ද රාජපක්ෂගේ නමින් විවෘත වූ බවයි. මෙකී සදාචාරමය ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පිළිතුරු දුන් බවක් නම් අපගේ මතකයේ නැත.
දේශපාලනික බඩගෝස්තරය වෙනුවෙන් මුදල් වියදම් කිරීම සහ ඉන් පසුව පශ්චත්තාප වීම පිළිබඳව ලලිත් කොතලාවලගේ ක්‍රියාකාරකම ද එක්තරා පූර්වාදර්ශයකි.
ජනතා බදු මුදල්වලින් සංවර්ධන කටයුතු සිදු කොට ඒ සෑම එකකටම තමන්ගේ නම යොදා ගැනීම එක්තරා ආකාරයක මානසික රෝගී තත්ත්වයකි. ප්රදර්ශනකාමි මනසක් ඇති අයකුට මිස, පොදු වගකීම පිළිබඳ හැඟීමක් ඇත්තකුට එසේ කළ නොහැකිය.
පොදු ජනතා ව්‍යාපෘතිවලට දේශපාලනික නම් ගසා ගැනීමේ ක්‍රියාවලිය මින් ඉදිරියටවත් නතර විය යුතුය. ඒ සඳහා ක්‍රමවේද සකස් කළ යුතුය. ජනතා බදු මුදලින් ඉදි කළ සෑම සංවර්ධන කටයුත්තකටම නම ගැසූ දේශපාලක නම් ඉවත් කිරීම ද පරිස්සමින් කළ යුත්තකි. ඔවුහු පොදු වැසිකිළියේ සිට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ඔවුන්ගේ නම් ගැසූහ. පොදු ජනතා අවශ්‍යතාව පෙන්වා දී, ඒ නම් ඉවත් කළ යුතුය.
දියගම ක්‍රීඩා සංකීර්ණය පමණක් නොව, ක්‍රීඩාවේ නාමයෙන් රට පුරා සිදුව ඇති සියලු ව්‍යාපෘතිවල දූෂණ වංචා හෙළිදරව් කිරීම කාලීන අවශ්‍යතාවකි. අතරමඟ අතහැර දැමූ ඒ ව්‍යාපෘතිය යළි විධිමත් සැලැස්මක් යටතේ ආරම්භ කිරීම ද සිදු කළ යුත්තකි. මෙය ඉතා කල් ගත වන දීර්ඝ කාලීන වැඩසටහනකි. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ එවැනි දෑ ද සිදු විය යුතු බව අපි අවධාරණය කරමු. රට ක්‍රමයෙන් බංකොලොත් වූයේ මෙවැනි අදූරදර්ශී ව්‍යාපෘති හේතුවෙනි.
පළමුව දේශපාලකයන් ජනතා වගකීම හඳුනාගත යුතුය. ජනතා බදු මුදල් මේ ආකාරයට විනාශ කිරීමෙන් රටටත්, ජනතාවටත් සුගතියක් අත්වන්නේ නැත. අවසානයේ ව්‍යාපෘතියක් ද නැත.
ජනතා බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් විනාශ කළ මෙවැනි ව්‍යාපෘති සඳහා මුල් වූ මහජන නියෝජිතයන්, ඒවාට අනුබල දුන් නිලධාරීන්, ඒවායෙන් විවිධ ප්‍රයෝජන ලැබූ දේශපාලන අන්තේවාසිකයන් කවුරුන්’දැයි හෙළිදරව් කිරීම කාලීන අවශ්‍යතාවකි.
මන්ද යත්: Clean Sri Lanka යටතේ මේ සියලු ක්ෂේත්‍ර ඉතා ඉක්මනින් පිරිසුදු විය යුතු බැවිනි.
සත්තකින්ම අපි ඒ සඳහා බලාපොරොත්තු පළ කරමු.