Home » රට ගිය මාධවී හිරේ ලැග ඇඳිවත පිටින් ගෙදර එයි

රට ගිය මාධවී හිරේ ලැග ඇඳිවත පිටින් ගෙදර එයි

-ඒජන්සිකරු නිදැල්ලේ

by sachintha
January 15, 2025 1:27 am 0 comment

මැදපෙරදිග රැකියාවකට ගොස් වසරක පමණ කාලයක් නොවිඳනා දුක් විද යාන්තමින් දිවි ගලවාගෙන ඇඳිවත පිටින් ආපසු පැමිණි බණ්ඩාරවෙල සාමචේතිය ගම්මානයේදී තරුණ කාන්තාවක හා ඇගේ මවුපියන් අන්ත අසරණ වෙත්දී රට සිහින පෙන්වා ඇය අතරමං කළ විදෙස් රැකියා ඒජන්සිකරු නීතියේ රැහැනට තවමත් කොටුනොවී තව තවත් තරුණියන් රවටමින් ජයටම මුදල් උපයමින් ජාවාරමේ යෙදී සිටින බව වාර්තා වේ. තරුණිය 21 හැවිරිදි මාධවී විශ්වනාදන් නමැති එක්දරු මවකි.

කුලී රැකියාවකින් ජීවත් වෙන තම සැමියාට ශක්තියක් වෙමින් තමුන්ට කියා නිවසක් ඉදිකර ගැනීමේ සිහිනය සැබෑ කරගන්නට ඇය මුලින්ම ගෘහ සේවිකාවක් ලෙස ඩුබායි රටට ගොස් ඇත්තේ ඉකුත් වසරේ මාර්තු මාසයේදීය.

තමුන් භාර ගත් ඒජන්සිකරු විසින් වරින්වර විවිධ ස්ථානවල සේවයේ යෙදවූ ඇය අවසානයේ ඕමානය වෙත පිටත් කොට ඇත්තේ එහි හොඳ රැකියාවක් ඇති බව පවසමිනි.

එහෙත් එහිදී වැටුපක්, කුසට අහරක් පවා නොමැතිව විවිධ වද හිංසාවලට ලක්ව මාස කිහිපයක් මහමඟ ජීවත් වූ ඇය අවසානයේ පොලිස් අත්අඩංගුවට පත්ව එහිද මාස ගණනාවක් ගතකොට ඉකුත් 05 දා ලංකාවට පැමිණ ඇත්තේ ජීවිතයත් ඇඳිවතත් පමණක් ඉතිරි කරගෙනය.

ඇය රට යැවීමටත් ගෙන්වා ගැනීමටත් ඇයගේ සැමියා සහ මව අධික පොලියට මුදල් ලබාගෙන ඇති අතර, ඇය ඇතුළු පවුලම මේ වන විටත් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බව පැවැසුවේ නෙතේ කඳුළු කැට පුරවාගෙනය.

තමුන් මුහුණ දුන් අත්දැකීම් ඇය මෙලෙස විස්තර කළාය.

‘‘අපි හරි දුප්පත්. අපිට ඉන්න හරියට ගෙයක් නෑ. මහත්තයට රස්සාවක් නෑ. අපිට දරුවෙක් ඉන්නවා. ගේ හදාගන්න ඕනි හින්දා තමයි රට යන්න තීරණය කළේ. ඒජන්සියක් මාර්ගයෙන් තමයි රට ගියේ. එයා කිව්වා ඔයා ඔරිජිනල් වීසා හදල තමයි රට යවන්නෙ කියලා.

මම මුලින්ම ගියේ ඩුබායිවලට. මම මාසයයි එහෙ හිටියේ. ඒජන්සියෙන් ගෙදරක වැඩට දැම්මා. ඊට පස්සේ මං මාසයක් ගියාම පඩි ඉල්ලුවා ගෙදර යවන්න තියෙනවා කියලා. පඩි දෙන්නැතුව හොඳටම අල්ලගෙන යකඩ පොල්ලකින් ගැහුවා. කන්න දුන්නෙත් නැහැ. එක කුඹුස් එකයි එක රොටියයි වතුරයි තමා දුන්නේ. එක කාලා තමා මං හිටියේ. ඊට පස්සේ මාව එතනින් ඕමාන් රටට යැවුවා. පොඩි පොඩි ගෙවල්වල තමයි ඔයාට වැඩ කරන්න තියෙන්නේ කිව්වා. මම ඕමානයට ගියා. ඕමානයට ගියත් මට රස්සාවක් නෑ. මාසයක් ඒජන්සියට වෙලා හිටියා. තැන තැන වැඩවලට ඒජන්සියෙන් තැන් තැන්වලට යැව්වා. ලැබුණ මාසෙ පඩියත් ඒජන්සිය ගත්තා. කන්න දුන්නෙත් නැහැ. සල්ලි ඉල්ලුවම ගහනව. අන්තිමට කොහොම හරි මං එතනිනුත් පැනගෙන තානාපති කාර්යාලයට ගියා. තානාපති කාර්යාලයෙන් කිව්වා ඔයා ඇවිල්ල ඉන්නේ සංචාරක වීසා මත ඔයාව භාර ගන්න බෑ කියල. ඊට පස්සේ තමයි මමත් ඒක දැනගත්තේ. මම යන්න එන්න තැනක් නැතුව පාරට වෙලා හිටියා. කන්න බොන්නත් නැතුව. එහෙන් මෙහෙන් කන්න හම්බුණා. මම විතරක් නෙමෙයි මම වගේම කොල්ලො කෙල්ලෝ සෑහෙන පිරිසක් මේ විදිහට අසරණ වෙලා හිටියා. ඒ ඉඳිද්දි තමයි මාව පොලීසියෙන් අල්ලගත්තෙ. ඒ විදිහේ වීසාවලට ආපු විශාල පිරිසක් පොලීසියෙන් අල්ලගෙන හිටියා. විස්සක් තිහක් විතර. එතනින් උසාවියට ගෙනිච්චා. හිරේට නියම වුණා. මාස හයක් හිරේ ඉන්න ඕනි. ඩිරාම් පන්සියයකුත් ගෙවන්න කියලා මට තීන්දුව ආවා. එහෙ ඉද්දි මගේ අතත් දෙතුන් පොළක් කපල පිච්චුවා. කම්බිවලින් ඇතිල්ලුවා. උණු වතුරෙන් පිච්චුවා. මේ විදිහට දුක් විඳින කන්න බොන්නෙ නැතුව ඉන්න විශාල පිරිසක් හිරගෙවල්වලයි තැන් තැන්වලයි ඉන්නවා . ගෑනු ළමයින්ට ගහල අතපය පුච්චලා වද දීලා, මැරුණට පස්සේ බෑග්වල දාගෙන අරන් යනවා. ඊට පස්සේ මොනා වුණාද දන්නෙ නැහැ. තව ගෑනු ළමයෙක් නිරුවත් කරල දූෂණය කරලා හොඳටම ගැහුවා. ඊට පස්සේ කාමරේකට දාලා ලොක් කරා. එයාට මොනා වුණාද කියලා අපි දන්නැහැ. අපි ඒවා වීඩියෝ කරා. හැබැයි ඒක ඒජන්සිකාරයා මකලා දාලා ෆෝන් එකත් පොළොවේ ගහලා කඩල දැම්මා. මටත් හොඳටම ගැහුවා. මං උඩ තට්ටුවට දාලා හිටියේ. මට කිව්වා උඹ වැඩිය දැඟලුවොත් උඹේ කෑල්ලක්වත් ලංකාවට යවන්නේ නෑ කියලා.”

මාධවීගේ මව වන ඥානයියා ජෝති මහත්මිය මෙසේ කීවාය.

‘‘මාස හයක විතර ඉඳල දුව අපිට කතා කළේ නැහැ. කිසිම ආරංචියක් ආවෙත් නැහැ. හිරේ ඉන්නව කියල දන්නෙත් නැහැ. අපි ඒජන්සියට කීවා. එයා ගේන්න තව ලක්ෂ තුනක් අපෙන් ඉල්ලුව. ඒකත් දුන්න. වැඩක් වුණේ නැහැ. මෙයා හිරෙන් නිදහස් වුණාට පස්සේ තමයි අපි දන්නේ, මෙයා ගෙන්න ගන්න කියලා එක සැරයක් ටිකට් එකට සල්ලි දැම්ම. ඒක කැන්සල් වුණා. ආයෙත් සල්ලි දාන්න වුණා. මේ විදිහට අපි දැන් සියයට විස්සේ පොලියට ලක්ෂ පහකට වඩා අරගෙන තියෙනවා. බොහොම අමාරුවෙන් පොලිය විතරයි ගෙවන්නෙත්. ඒජන්සියට දුන්න සල්ලිවත් පඩියක්වත් කිසි දෙයක් අද වෙනකම් නැහැ. අන්තිමට අපිට දරුවා විතරක් ඉතුරු වුණා. අපිට ඉන්න හිටින්නවත් හරියට තැනක් නැහැ. අපි සහනයක් බලාගෙන පොලිසි ගියා. ඒත් තාමත් වැඩක් වෙලා නෑ. දැන් පොලියවත් ගෙවා ගන්න විදිහක් නැතුවයි ඉන්නේ.

මාධවීගේ සැමියා වන විශ්වනාදන් මෙසේ පැවසීය.

‘‘මට රස්සාවක් නැහැ. කොළඹ පැත්තෙ කුලී වැඩ කරන්නෙ. මාසෙකට රුපියල් හැටදාහක් විතර හම්බවෙනවා. ඒක ජීවත් වෙන්න මදි හින්දා තමයි මෙයා රට රස්සාවට ගියේ. අපි සල්ලි යවල එයාව ගෙන්න ගත්තා. එයා ආපු එක ගැන සතුටුයි. ඒත් දැන් අපිට දරුවා හදාගෙන ජීවත් වෙන්න විදිහක් නෑ. පොලී ගෙවන්නත් ඕනි. අපෙන් ගත්ත සල්ලි ටික හරි අරන් දෙන්න කටයුතු කරන්න කියලා තමයි රජයෙන් ඉල්ලන්නේ.”

මීගහකිවුල සමූහ – එන් නවරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT