රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් මැණික් තොගයක්, ඇඳ සිටි යට ඇඳුම් අතර සඟවා ගෙන චීනයට රැගෙනයෑමට තැත් කළ චීන ජාතික පියෙක් සහ දියණියක් පෙරේදා (13) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙලෙස අත්අඩංගුවට ගත් මැණික් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑහතරලක්ෂ පනස්දහස් අටසිය හැත්තෑපහක් පමණ වන බව ද එම නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් චීන ජාතික පියා 45 හැවිරිදි වියේ පසුවේ. ඔහුගේ දියණිය 21 හැවිරිදි වියේ පසුවන බවත්, ඔවුන්ට මෙරට වාසය කිරීමට නේවාසික වීසා හිමිව ඇති බවත් එම නිලධාරීහු සඳහන් කරති.
මේ සැකකරුවන් දෙදෙනා මෙරට විවිධ පළාත්වල සැරිසරමින් ව්‍යාපාරික කටයුතුවල නිරතව සිට ඇති බව ද විමර්ශකයෝ පවසති.
සැකකරුවන් දෙදෙනා පෙරේදා (13) රාත්‍රී 07.30ට පමණ චීනයේ චොන්ග්ක්වින්ග් (Chongqing) නුවර බලා පිටත්ව යන චොන්ග්ක්වින්ග් ගුවන් සේවයේ ඕ.කිව්.- 2394 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබුණි.
මොවුන්ගේ සිරුරු පරිලෝකන යන්ත්‍ර ( Scan Test ) මඟින් පරීක්ෂා කිරීමේදී ඔවුන් සඟවා ගෙන තිබූ මැණික් තොගය අනාවරණය කර ගැනීමට රේගු නිලධාරීන් සමත්වී තිබුණි.
එසේ අත්අඩංගුවට ගත් මැණික් අතර චන්ද්‍රකාන්ති, ගෝමේද, ආරනූල්, වෛරෝඩි සහ පච්ච යන වර්ගවලට අයත් ග්‍රෑම් 689.5ක් බර මැණික් තොගයක් තිබුණි. පසුව මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ඊයේ (14) පස්වරුව වන තෙක් පැවැත්විය. එහිදී මේ මැණික් තොගය රාජසන්තක කිරීමට රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තීරණය කළ අතර, ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.
කටුනායක – ටී.කේ.ජී. කපිල