Sunday, May 11, 2025
Home » වසර 30ක් කසළ ප්‍රතිචක්‍රීකරණය නොකිරීමෙන් කුඹුරු අක්කර 100ක් පුරන් වෙලා

වසර 30ක් කසළ ප්‍රතිචක්‍රීකරණය නොකිරීමෙන් කුඹුරු අක්කර 100ක් පුරන් වෙලා

-සුන්දරාපොළ ප්‍රදේශවාසීහු කියති

by sachintha
January 15, 2025 1:17 am 0 comment

දිනකට ගලිබවුසර් හයකින් කුරුණෑගල සුන්දරාපොළ කසළ මධ්‍යස්ථානයට ගෙනෙන ‘අසූචි‘ වසර 30ක පමණ කාලයක් තිස්සේ ප්‍රතිචක්‍රීකරණය නොකර පරිසරයට මුදාහැරීම නිසා කුඹුරු අක්කර 100ක් පමණ පුරන් වෙන්නට ඉඩහැර ඇතැයි සුන්දරාපොළ ප්‍රදේශවාසීහු වයඹ නව ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාට කියා සිටිති.

ප්‍රදේශවාසීන් මේ බව කියා සිටියේ , කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සඳහා ආයෝජකයන් කිහිපදෙනකු සමඟ ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සුන්දරාපොළ කසළ එකතු කිරීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණයට පසුගියදා එක්වූ අවස්ථාවේදීය.

කුරුණෑගල නගර සභාවෙන් නඩත්තු කරන කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අක්කර 20ක පමණ භූමි භාගයක සුන්දරාපොළ කසළ එකතු කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

විශේෂයෙන්ම වැහැර යුද හමුදා කඳවුර, බෝයගනේ යුද හමුදා කඳවුර සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව, කුරුණෑගල නගර සභාව යන බල ප්‍රදේශවලින් බැහැර කරන මලද්‍රව්‍ය සුන්දරාපොළට ගෙන එනු ලබයි.

එම මලද්‍රව්‍ය විධිමත්ව බැහැර නොකිරීම සහ ප්‍රතිචක්‍රීකරණය නොකිරීම නිසා අදාළ ස්ථානයෙන් උතුරා යන මලපහ සුන්දරාපොළ වෙල්යාය ඔස්සේ සාරගම වැව දක්වා ගලාගෙන බසී.

මේ හේතුව නිසා මේ වෙල්යාය වසර 30ක පමණ කාලයක සිට වගා කර නොමැති අතර, එම භූමියේ විශාල ගස් වැවී තිබේ. එම වගුරු බිමට කිසිම පුද්ගලයකු නොබසින්නේ විවිධ රෝගවලට ගොදුරුවීමේ ඇති අවදානම ඇති බැවිනි.

එහෙත් මෙම ජලය එකතු වන සාරගම වැවෙන් දුරබැහැර ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් මුහුණ සේදීම සිදු කිරීම නිරන්තරයෙන් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.

මේ පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් තොරතුරු හෙළි කිරීමෙන් පසු ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් මාස 2කට ගලි බවුසර් ගෙන ඒම නවතා දැමීමට උපදෙස් දුන්නේය.

එම මාස 2ක කාලය තුළ අදාළ ගලි බවුසර් කුරුණෑගල අප ජලාපවහන පිරිපහදු මධ්‍යස්ථානයට ලබාදීමට සැලසුම් කිරීමට කුරුණෑගල නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා ඉදිරිපත් විය. ඒ මාස 2ක කාලය තුළ මල අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු සැලසුම් කළ යුතු බව ආණ්ඩුකාරවරයා ආයෝජකයන්ට පැහැදිලි කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා සමඟ කුරුණෑගල නාගරික කොමසාරිස්, කුරුණෑගල ප්‍රාදේශීය සභා ලේකම් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

කුරුණෑගල – කුමාරි දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT