අනියම් බිරියගේ 13 හැවිරිදි බාල දියණියට වක් පිහියකින් පහර දී ඝාතනය කළ පුද්ගලයකු සිද්ධියෙන් දින 19 කට පසු පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ බව පිළියන්දල පොලීසිය කියයි.
තම අනියම් බිරිය තවකකු හා සබඳතාවක් පවත්වා ගෙන යන බවට ඇතිවූ සැකයෙන් සිදුවූ බහින් බස්වීමක් අතරතුරදී බහින්බස් වීමට මැදිහත් වූ ඇගේ 13 හැවිරිදි දියණිය මේ පුද්ගලයා විසින් මරා දමනු ලැබ තිබුණි.
සැකකරු නීතිඥවරයකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිළියන්දල බෝකුන්දර අංක 194/4 හි තාවකාලිකව පදිංචිව සිටි බී. එම්. ඔෂාදී කෞශල්‍යා දැරියයි.
සැකකරු වක් පිහියෙන් පහරදීමෙන් එදින දැරියගේ මව සහ සහෝදරිය ද බරපතළ තුවාල ලැබූහ.
සැකකරු ඝාතනයට ලක් වූ දැරියත් ඇගේ මවත් දැරියගේ සහෝදරියත් සමඟ එකම නිෙවසක කල් ගෙවා ඇති අතර ඉකුත් දෙසැම්බර් මස (26) උදෑසන ඔහු සේවයට ගොස් තිබූණි. සිද්ධියට අදාළ කාන්තාව එදින සේවයට යාමට නියමිතව සිට ඇත්තේ සවස් යාමයේ බවත් සැකකරු ආයතනයේ සිට දහවල් ආහාරය සඳහා පැමිණි අවස්ථාවේදී එම ආයතනයේ සේවය කරන වෙනත් සේවකයකු සමඟ මෙම කාන්තාව අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බවට සැකයෙන් නිෙවසේ කාමරයක් තුළදී බහින්බස් වීමක් සිදුව ඇති බවත් වාර්තා වෙයි. එහිදී ඔහු වක් පිහිය ගෙන කාන්තාවට පහරදීමට සැරසෙද්දි ඉදිරියට පැන්න මියගිය දැරියට සහ අනෙක් වැඩිමහල් දැරියටත් පහරදී තුවාල කර ඇතැයි වාර්තා වේ. පසුව මොහු රෙදි වැනීමට යොදාගන්නා ලණු පොටවල් රැගෙන යාබද කාමරයට ගොස් බාල්කයේ ලණුවක් ගැට ගසා සියදිවි නසා ගැනීමට උත්සාහ දැරීමේ දී ලණුව කඩා වැටී ඇඳ මතට වැටීමෙන් අනතුරුව එම අදහස අත්හැර දමා පහළ මහලේ පදිංචිව සිටින නිවැසියන්ට පොලීසියට භාරවීමට යන බව පවසා නිෙවසින් පිටවී ගොස් පලා ගොස් තිබූ බව පොලීසිය කියයි.
අනතුරුව සැකකරු බස් රථයක නැඟ වරකාපොළ ප්‍රදේශයට ගොස් පාළු මාර්ගයක් දිගේ ඇවිදගෙන ගොස් රබර් වත්තක එදින රෑ ගතකර පසුදින මහනුවරට පැමිණ දළදා මාලිගාවටද ගොස් උඩුදුම්බර නැඟණියකගේ නිවෙසේ දින කීපයක් ගතකර ඇතැයි ද සැකකරුගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලීසිය කියයි.
එම නිවෙසින් පිටවී දඹුල්ලට පැමිණ එම ප්‍රදේශයේ කැලෑවක ද රැයක් ගතකර පදිංචිව සිටි පිළියන්දල බෝකුන්දර නිවෙස ආසන්නයේ පාළු ඉඩමකට පැමිණ වස වර්ගයක් පානය කළ බවත් එහිදී කිසියම් අයකු ඔහුව කළුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇති බවත් දින හතක් එහි ප්‍රතිකාර ලබාගෙන නැවතත් උඩුදුම්බර නැඟණියගේ නිෙවසට ගොස් එහි රැඳී සිට නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාර වන බවට සිතා පැමිණි බවටත් වැඩිදුරටත් ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කරයි.
මහඔය, සමගිපුර පදිංචි 47 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ, සහකාර පොලිස් අධිකාරි මංජුලසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේශ් අත්තරගම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර, පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක, 1 කසුන්, වීරසිංහ, නවෝද්, විමලරත්න යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම- බිමල් ජයසිංහ