කලක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා එහි තිබූ ගෝඩා මිලිලීටර් දහසය ලක්ෂ පනස් හත්දාස් පන්සීයක්, කසිප්පු මිලිලීටර් තිස් තුන් දහස් හත්සිය පනහක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය තුන්අදහේන ප්‍රදේශයේ පදිංචි 26 හා 29 වයසේ පසුවන දෙදෙනකු බව පොලීසිය පවසයි.
අතුරුගිරිය තුන්අදහේන නිල්පලාවත්ත ප්‍රදේශයේ වෙල්යායක් අසල නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් වටලා පරීක්ෂා කිරීමේදී එහි යකඩ බැරල් 10ක තිබූ ගෝඩා මිලිලීටර් 16,57,500ක් කසිප්පු මිලිලීටර් 33,750ක් සහ කසිප්පු පෙරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊට අමතරව ගෝඩා අවසන් වූ තවත් බැරල් පහක්ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර අතුරුගිරිය, කඩුවෙල, මාලබේ හා හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකට තොග වශයෙන් කසිප්පු අලෙවි කර ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීට පෙරද කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවන් වූ බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අතුරුගිරිය පොලීසියේ නිලධාරීහු වැටලීම සිදුකොට ඇති අතර ඉදිරි පරීක්ෂණ පවත්වති.
කොට්ටාව – ප්‍රදීප් කුමාර