උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී පෙරේදා (13) පස්වරුවේ මහනුවර සිට බදුල්ල බලා පැමිණෙමින් තිබූ විශේෂ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරන 35 හැවිරිදි මුශාකිර් අශාන් නමැති බදුල්ල ජම්බුගස්වත්ත පදිංචි අයෙකු බවද පොලීසිය පැවැසීය.
බදුල්ල දුම්රිය ස්ථානයට මීටර් පන්සියයක් පමණ දුරින් පිහිටි අමුණුවැල්පිටිය දුම්රිය බිංගෙය ආසන්නයේදී පස්වරු 6.15ට පමණ මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇති අතර ඔහු එම ස්ථානයේදීම මියගිය බවද වාර්තා වේ.
මියගිය පුද්ගලයාගේ මෘතදේහය බදුල්ල දුම්රිය ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා බදුල්ල ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර බදුල්ල මූලස්ථාන පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.
බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන සොරණාතොට සමූහ සී. ගමගේ