යාපනයේ වඩමාරච්චි වතිරායන් මුහුදු වෙරළට දුර්ලභ ගණයේ දේව ප්රතිමා දෙකක් පෙරේදා (13) ගොඩ ගසා තිබේ.
ප්රදේශයේ ධීවරයින් මේ පිළිබදව තොරතුරු දැනුම් දීමෙන් පසුව වඩමාරච්චි ශ්රී සිත්ති විනයාගර් කෝවිලේ පූසාරිවරු පිරිසක් එම ස්ථානයට ගොස් දේව ප්රතිමා පරීක්ෂාවට ලක් කොට තිබේ.
එහිදී ඔවුන් පවසා ඇත්තේ මුහුදු වෙරළට ගොඩ ගසා ඇත්තේ හින්දු ආගමට අයත් කන්නන් හා රාධාගේ ප්රතිමා දෙකක් බවයි. එම ප්රතිමා දෙක ජලයෙන් සෝදා පවිත්ර කොට කිරිවලින් නහවා අසල පිහිටි කෝවිලක් වෙත රැගෙන යාමට හින්දු පූසාරිවරු පියවර ගෙන තිබේ.
තෛපොංගල් දිනයේ උදාවත් සමඟම හින්දු දේව ප්රතිමා දෙකක් යාපනයේ මුහුදු වෙරළට ගොඩ ගැසීම සුබ ලකුණක් වශයෙන්ද හින්දු පූජකවරු පිරිසක් හඳුන්වා දී ඇති අතර එම ප්රතිමා දෙක හින්දු බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතුවලට ලක් කරවීමටද පියවර ගෙන තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ප්රතිමා දෙක ඉන්දියාව මැලේසියාව හෝ ඉන්දුනීසියාව වැනි රටකින් මුහුදට වැටී යාපනය මුහුදු වෙරළට ගසා ගෙන එන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති.
කෙසේ වෙතත් යාපනයේ වඩමාරච්චි මුහුදු වෙරළට ගතවූ වසර දෙකක කාලය ඇතුළත විවිධ වස්තූන් රැසක් ගසා ගෙන පැමිණ ඇති අතර මෙවර ගසා ගෙන පැමිණි දේව ප්රතිමා දෙකද සමඟ එවැනි අද්භූත වස්තූන් 9ක් යාපනය මුහුදු වෙරළට පාවී පැමිණ තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ