Home » ආදරය හා නිදහස මුසු කළ කවියා

ආදරය හා නිදහස මුසු කළ කවියා

by thanushika
January 15, 2025 1:25 am 0 comment

තිලිනා වීරසිංහ

ඔහු උපන්නේ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලන දේශපාලන සමාජයක ය. දිළිඳුකම, නූගත්කම උරුම කරගත් සාමාන්‍ය ගැමියන් අතර ජීවිතය හැදෑරීම ඇරඹූ සේකරට අපගේ ලාංකික සමාජ දේශපාලනය, අපගේ පරිකල්පනය, අපගේ මානවීය දෘෂ්ටිය හා නිදහස අත් හදා බැලීමේ ක්‍රියාවලිය වඩා පෘථුල තලයකට රැගෙන යාමට බුද්ධිමය දැක්මක් හා මානව හිතවාදී අභිලාෂය ක් වූ බව පැහැදිලි ය.

විශ්වය තනි යායක්ව සීමා මායිම් නොමැතිව යා කරන්නට සිහින දරන්නකු බිහි වනුයේ තැම්බූ බතල දළු, ලුණු මුසුකොට කවා ජංගි පොඩියක් අන්දා අකුරු කරන්නට කැන්දා ගෙන යන අකුරු නොදන්නා මුත් ආදරයේ බස මැනවින් උගත් මවගේ අපිරිමිත ආදරය හරහා විය යුතු ය. බුද්ධියෙන් පාර අසා ගෙන නගරයට එන සේකර ජීවිතයේ තවත් පැතිකඩක් නගරයේදී අත්විඳියි. නගරය තුළ ලබන ඥානය හා අත්දැකීම් හරහා ඔහු අපේ කවියට, නිර්මාණකරණයට, ජීවන රිද්මයට මෙන්ම ජීවන දැක්මට නව මං තනන්නට වෑයම් කරයි.

සේකර අවලාද නොතකා අභියෝගාත්මක අත්හදා බලන්නකු විය. ලාංකික නිසදැස් කාව්‍ය කලාවේ සුවිශේෂි සලකුණක් තබන්නට ඔහු සමත්වනුයේ ඒ නිර්මාණාත්මක චින්තනයේ ඔහු සතු වූ විසල් පෞරුෂය නිසාවෙනි. සෙසු කලා නිර්මාණයන් අභිබවමින් ලෞකික ස්වභාවය ඉක්මවා යාමට කවිය සමත් බව පවසන විචාර සංකල්පය තුළ ලොව මීට වඩා යහපත්ව සාදන්නට දෘෂ්ටිමය මාවතක් තනන්නට සේකර කවිය උපයෝගී කර ගත්තේය. හෙතෙම පිවිසෙනුයේ කවියේ ආකෘතිකමය භාවය පිළිබද විවාද සම්පන්න කාලාවකාශයකට ය.

සේකර කවියේ ආකෘතිය පමණක් නොව දෘෂ්ටිමය නිර්මාණයද අපූර්ව වෙනසකට ලක් කරයි. මෙරට දේශීය මූලාශ්‍ර හා ජන ජිවිතය පදනම් කර ගත් ජීවන අත්දැකීම් සමාජය විනි විදමින් සේකර රිද්මයානුකූල ව ප්‍රති නිර්මාණය කරයි. ඔහුගේ කවියෙහි අනුභූතීන් විවිධ මානයන් කරා විහිදෙයි.ජීවිතය..ආදරය..ශෘංගාරය .. නිදහස..සමාජ අසාධාරණය..සමාජ විෂමතාව.සියුම් මානව හැගීම්..මානව හිතවාදී අපේක්ෂාවන්.. මරණය.. අනිත්‍ය.. ඔහු අපූර්ව ලෙස වස්තු බීජ කර ගනියි.

සේකර සිය නිර්මාණාත්මක චින්තනය පෙරදිග චින්තනය ඇසුරින් පෝෂණය කර ගන්නට වඩා ප්‍රිය කළ බව ඔහුගේ නිර්මාණ විමසීමේදී තහවුරු වෙයි. රබීන්ද්‍රනාත් තාගෝර්ගේ නිදහස සත්‍යය හා සමාජ ප්‍රගමනය පිළිබඳ මානවිය දැක්ම සේකර අපට උරුම කරන්නට වෑයම් කරයි.

“පටු අදහස් නම් පවුරින්
ලෝකය කැබලි වලට නොබෙදී
බියෙන් තොරව හිස කෙළින් තබා ගෙන
සිටිනට හැකි කොහිදෝ.”

සමාජ පීඩනයට අයුක්තියට එරෙහිව සමාජ දරිද්‍රතාව නූගත්කම පිටු දැකීමේ අරමුණින් සත්‍යය හා සමාජ නිදහස වෙනුවෙන් නිර්මාණ කරණයේ නියැළි ඒ නිසා ම සිය උපන් බිම වූ ලෙබනනයෙන් පිටුවහල් කරනු ලැබූ ඛලීල් ජිබ්රාන්ගේ මානවීය දෘෂ්ටිය ද සේකර බෙහෙවින් ඇගයුවේ ය.

ලොව පවතින්නේ සෞන්දර්ය සහ සත්‍ය මතය යන දැක්ම තුළ පදනම් වන ඛලීල්”කවිය යනු අදහසක් ප්‍රකාශ කිරීමෙන් ඔබ්බේ රුහිරු වෑහෙන තුවාලයකින් නැතිනම් සෙනෙහෙබර මුවකින් ගැයෙන ගීතයක්” යනුවෙන් පවසා ලූ අරුත මෙරට සමාජ පීඩනය පිළිබඳ සැබෑ අරුත් ගොඩ නංවන්නට අත්හදා බලන්නට සේකර උත්සාහ කළේය.

“ඔප් නැගූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින් ලියන්නට
මට නොමැත කවියක්
වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරී ගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරට් පැකට්ටුවක
ඒ මත පැන්සල් කෙටියකින් කුරුටු
ගාන්නට මට ඇත කවියක් ..

එසේ වුව සොහොයුරාණෙනි!
ඔබ ගැන මා ලියන ඒකවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
නොවැටහෙන බව දනිමි
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතයේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන් කියවන
බවද දනිමි..”

සේකරට අපගේ සමාජ පීඩනය අහෝසි වී යහපත් සමාජයක් ගොඩ නැඟෙනු දකින්නට සිහිනයක් තිබුණා පමණක් නොව ඔහු සමාජයේ පීඩනයේ සැබෑව යථාර්ථවාදී ලෙස ග්‍රහණය කර සිටියේය. එසේම තම සහෝදර පීඩිත පංතිය ගැන ඔහු ලියනා කවිය ඒ දේශපාලන සමාජ ආර්ථික වට පිටාව තුළ ඔවුනට නොවැටහෙන බවද මනාව පසක් කර ගෙන සිටියේය.එහෙයින් තම සොයුරන්ට සිය කවිය ආදරයෙන් කියවා ගන්නට කාලයක් ගතවන බවද, ඒකාලය දරා ගන්නටද ඔහු දැන සිටියේ ය.

වරක් 1970 දශකයේ මුල මහගමසේකර ට ජාතික ගීය වෙනුවෙන් ගීතයක් රචනා කර දෙන ලෙස කළ ඉල්ලීම අනුව සේකර ගීතයක් රචනා කර ඇත. එහි ජන රජ ව්‍යවස්ථාව පිළිබද සඳහන්ව නැතැයි ප්‍රතික්ෂේප කරද්දී සේකර පිළිතුරු දී ඇත්තේ “එහෙනම් ව්‍යවස්ථාව ට තනුවක් දා ලා ජාතික ගීය හදා ගන්න” යනුවෙනි.

රාජ්‍ය බලාධිකාරය අභිමුව ඒ සා විසල් අදීනත්වයක් පෞරුෂයක් සතු කලාකරුවන් අප සමාජයෙහි එදත් අදත් විරල ය.

සේකරගේ “නොමියෙමි” කාව්‍ය සංග්‍රහයේ ඛලීල් ජිබ්රාන් මේ ෂියඩේ නම් ලේඛිකාවකට ලියූ ලිපියක අදහසක් මෙසේ සටහන් කරයි.

“අපි මරණය කියන නික්මයාම ගැන කියන කොට තද බල සතුටකුත් එසේ නික්ම යාමට දැඩි ආශාවකුත් මට ඇති වෙනවා. නමුත් ඒ එක්කම මට මතක් වෙනවා එසේ නික්ම යාමට පළමු මවිසින් කිව යුතු එක් වචනයක් ඇති බව. ඒ වචනය තවම මාතින් කියැවී නැහැ..”

ආදරණීය සේකර කලාකරුවාණෙනි,

ඔබටද එසේ නික්ම යාමට පෙර කියන්නට වදනක් තිබෙන්නට ඇත. ඒ කුමක්දැයි අපේ මතු පරපුරක් අපගේ සමාජය මීට වඩා යහපත් වූ දිනක ඔබේ මානවීය දැක්මෙන් ඔපවත් වූ කවීත්වයෙහි අරුත් සමඟ නිසැකවම වටහා ගනු ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT