Home » සංවර්ධනයේ නව යුගයකට චීනයේ සහාය – ජනපති ෂී ජින්පිං කියයි
ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්

සංවර්ධනයේ නව යුගයකට චීනයේ සහාය – ජනපති ෂී ජින්පිං කියයි

ආර්ථික-සමාජයීය-කර්මාන්ත ගිවිසුම් රැසකට අත්සන් / ද්වීපාර්ශ්වීය සාකච්ඡා ඇරඹේ

by sachintha
January 16, 2025 1:03 am 0 comment

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතා අවධාරණය කළේය. චීනයේ සිවු දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතා අතර නිල හමුව ඊයේ (15) පස්වරුවේ චීන මහජන ශාලාවේ දී පැවැත්වූ අතර එහි දී චීන ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය. චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධාන කර තිබිණි.

අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථා බහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේම සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව ද සිහිපත් කළ ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියටද ශ්‍රී ලංකාව සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පැවැසීය.

“මහජන චීන සමූහාණ්ඩුවේ ආර්ථික, කාර්මික, තාක්ෂණ සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම මානව සංවර්ධනය අතින්ද අත්කරගෙන ඇති දැවැන්ත ප්‍රගතිය පිළිබඳ ශ්‍රී ලංකාව බෙහෙවින්ම සතුටට පත් වෙනවා. ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය සංසද ඇතුළුව සියලු ක්ෂේත්‍රයන්හි දී එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා. චීන සමූහාණ්ඩුව දශක කීපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයකත් ඉටුකරඇති අතර මෙම සංචාර අපගේ රටවල් හා ජනතාවගේ අන්‍යෝන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. “යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම තැබිණි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT