‘නායකත්වයේ ධාරිතාව යනු දැක්මක් යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමයි.’
වොරන් බෙනීස් නමැති සමාජ විද්‍යාඥ දාර්ශනිකයා එලෙස පවසා ඇත. මෙහි අදහස නායකත්වය යනු කිසියම් දුර දැක්මක් සහිත අයකු සතු චින්තනයක් යන්නයි.
කණ්ඩායමකට, රටකට දැක්මක් සහිත නායකත්වයක් අත්‍යවශ්‍ය වේ. එමෙන්ම රටක් තුළ මතු වන එකිනෙකට වෙනස් අභියෝගවලට, අර්බුද කළමනාකරණයට ආර්ථිකය විවිධාංගීකරණයට, ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, රටක් මූල්‍ය හා වාණිජ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය හැකියාව සහ දැක්ම ද නායකයකු සතුව තිබිය යුතු ය.
එමෙන්ම රාජ්‍යයක් පාලනය කිරීමේදී ජාත්‍යන්තර මිත්‍රත්වය යන කාරණය ද දෙවැනි තැනෙහිලා සැලකිය නොහැකි කරුණකි. එය ඉතා පරිස්සමින් කළමනාකරණය කර ගත යුතු කාරණයකි.
ජාත්‍යන්තර ප්‍රජාව සමඟ දේශපාලනිකව ගනුදෙනු කිරීමේදී බොහෝ දුරදිග බලා ගනුදෙනු කළ යුතුව ඇති බව සත්‍යයකි.
ඉහත කරුණු සටහන් කරන්නට සිදු වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවැනි රාජ්‍යතාන්ත්‍රික නිල සංචාරය චීන දේශයට යෙදීමත් සමඟ ඇති කර ගනු ලබන දේශපාලනික එකඟතා විමසීමට ය.
ශ්‍රී ලංකා රාජ්‍ය විවිධ මට්ටමින් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන අතර, ඒ අනුව අප රටට හිමි වූ වාසිදායක තත්ත්වයන් ද බොහෝ ය. එබැවින් මේ රාජ්‍ය සංචාරය එම සුබවාදී තත්ත්වයන් තවදුරටත් ඉදිරියට රැගෙන යෑමට ඉවහල් වන කාරණයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු පළ කරමු.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව 2023 වර්ෂය වන විට පැවති තත්ත්වය හඳුනා ගෙන, රටේ ඉදිරි දේශපාලනික අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගැනීම වැදගත් වනු ඇත. ඉකුත් නොවැම්බරයේදී මහ බැංකුව විසින් නිකුත් කරන ලද රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව රට ඉතා බරපතළ ණය කන්දක සිර වී සිටියි. වත්මන් ජනාධිපතිවරයා සතු ප්‍රමුඛතම අභියෝගය වන්නේ මේ ණය කන්දෙන් ගැලවීමයි. ගෙවුණු කාලය පුරා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ යෝජනා සකස් කෙරුණේ ඒ පිළිබඳ ක්‍රමවේද සකස් කිරීමට ය. මහ බැංකුව සහ ආර්ථික විශේෂඥයන් පුරෝකථනය කරන පරිදි ඒ පිළිබඳ සුබවාදී දිශානතියකට ගමන් කිරීමට හැකියාව ලැබී තිබේ. එපමණක් නොව, එළඹෙන අයවැය ලේඛනය මඟින් රාජ්‍ය සේවකයන්ගේ සහ පෞද්ගලික අංශයේ බොහෝ ගැටලුවලට යම් සහනදායක පිළිතුරක් සොයා ගැනීමට හැකියාව ඇති බවට ඉඟි පළ ව තිබේ. මේවා සියල්ල සාර්ථක කර ගැනීමෙන් අනතුරුව, ණය අර්බුදයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතරට ශ්‍රී ලංකාව එකතු වනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.
එහෙත් එක් රැයකින් හෝ ඉතා කෙටි කාල සීමාවකින් මෙකී අර්බුද සියල්ල විසඳා ගත හැකි යැයි සිතන ප්‍රාථමික මට්ටමේ මනසක් අප සතු නො වේ. ආණ්ඩුව පත් වී දින කීයක් ගත වී ද? ජනතාවට ලැබුණේ මොනවා ද? යනුවෙන් කෑමොර දෙන්නට තරම් අපි තවමත් ඉක්මන් නොවෙමු. තවම ඇත්තේ රට නිවැරදි පීල්ලට දිශාගත කිරීමේ අසීරු අඩියේ ය.
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ඒ පිළිබඳ සැලසුම් සකස් කිරීමේදී විවිධ අර්බුද කළමනාකරණයට ද කාලය වැය කිරීමට සිදු විය. කිසියම් දේශපාලනික ව්‍යාපෘතියක් ඉදිරියට ගමන් කිරීමේදී අපේක්ෂා කළ හැකි අර්බුද මෙන්ම අපේක්ෂා කළ නොහැකි අර්බුද ද පැමිණිය හැකි ය. නිශ්චිත වැඩ සැලැස්මක් තුළ එවැනි හඳුනා ගත් අර්බුද සහ හඳුනා නොගත් අර්බුද අවස්ථානුකූලව කළමනාකරණය කිරීමේ හැකියාව රාජ්‍ය නායකයකු සතුව තිබිය යුතු ය. එකී දේශපාලනික ආදර්ශය ජනාධිපතිවරයා විසින් පසුගිය කාලය තුළ සපයා තිබිණි.
චීනය නිදා සිටින යෝධයකු යැයි කිව්වේ නැපෝලියන් බොනපාට් ය. නිදා සිටින චීනය නමැති යෝධයා දිනක ලෝකය තැති ගන්වනු ඇති බව එහි අදහස ය. මේ මොහොතේ ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ චීනයේ ස්ථානගත වීම කියවා ගැනීම ඉතා යහපත් දේශපාලනික ප්‍රවණතාවකි. එනිසා චීනයේ සහය රටක දේශපාලන අනාගතයේ ඉදිරි දැක්මට අතිශය වැදගත් වනු ඇත.
ශ්‍රී ලංකාවේ දේශපාලනික ගමන් මඟේ ඉදිරිය සඳහා ඉන්දීය සාධකය මෙන්ම චීන සාධකය ද අතිශය වැදගත් ය. ඉන්දියාව අතහැර චීනය හෝ චීනය අතහැර ඉන්දියාව තෝරා ගැනීම යනු යහපත් බුද්ධිමය දේශපාලනික තීරණයක් නො වේ. එබැවින් කලාපීය දේශපාලනය තුළ වඩාත් වැදගත් වන්නේ ඉන්දියාව සහ චීනය අතර ඇති මිත්‍රත්වය එක හා සමානව පවත්වා ගැනීමයි. ශ්‍රී ලංකා රාජ්‍යයට එකී දේශපාලනික නිදහස තිබේ.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් ලැබුණු යහපත් එකඟතාව ද චීන සංචාරයෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිචාර සහ එකඟතා ද මෙරට දේශපාලනික අනාගතයේ සුවිශේෂ සාධක වනු ඇත. රාජ්‍යතාන්ත්‍රික නායකයකුගේ දැක්මෙන් යුතුව මෙකී ද්විපාර්ශ්වීය දේශපාලනික සබඳතාව කළමනාකරණය කර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
සමාජ වෙනසකදී මුලින්ම කළ යුතු වන්නේ මිනිසුන්ගේ සංකල්පරූපී මනස් තුළ ගොඩනංවා ගෙන ඇති ආචීර්ණ කල්පික සිංහාසනාරූඪ වූ මතවාද පෙරළා දැමීමයි; පූර්ව උපකල්පන සහ සැක කිරීම් පුපුරවා හැරීමයි.
එබැවින් ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ මෙන් ම ජාත්‍යන්තර ගෝලීය දේශපාලනය තුළ ද ඉන්දීය සාධකය මෙන්ම චීන සාධකය ද අතිශය වැදගත් වන බව මෙහිලා සටහන් කර තබමු.