Thursday, May 15, 2025
Home » ඊළඟ නිර්මාණයට පාර කපන්නේ අතෘප්තියයි

ඊළඟ නිර්මාණයට පාර කපන්නේ අතෘප්තියයි

-ලේඛිකා ශාන්ති දිසානායක

by sachintha
January 16, 2025 1:30 am 0 comment

දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව ලේඛනයෙහි නිරත වූ ශාන්ති දිසානායක නම් වන මේ ලේඛිකාව සිත් සසල කරවන, අපූර්වතම නිර්මාණයන් රැසක් බිහි කළාය. පාඨක සිත් සොරාගන්නා ලේඛිකාවද වූවාය. ඈ අතින් නිර්මාණය වුණු අලුත්ම නවකතාව NoBody ය. NoBody පිළිබඳව ලේඛිකා ශාන්ති දිසානායක සමඟ කළ කතා බහ මෙසේ දිගහරිමු.

l ඔබ NoBody ලියන්නෙ ඇයි?

මම NoBody ලියන්න එක හේතුවක් තමයි, සහෝදර ලේඛක මොහාන් රාජ් මඩවලගෙන් ලැබුණු ආරාධනය. ඔහු කාලයක් තිස්සේ මගෙන් පොතක් ප්‍රකාශයට පත් කරන්න ඕනෑ කියලා ඉල්ලා සිටියා. බිසෝ ප්‍රකාශනයක් විදිහට මගේ පොතක් කරමු කියන ඉල්ලීමට සවන් දීම එක හේතුවක්.

අනෙක් කාරණාව තමයි, සුභානිගේ කතාව මට ලියන්න ඕන වුණා. මොකද මේක, සුභානිගේ කතාව විතරක් නෙවෙයි. මේක එක්තරා යුගයක, එක්තරා අන්ධකාරයක, එක් අතීත මතකයක්. ඒක වර්තමානයත් එක්ක ගැට ගැහෙන අනාගතයටත් ශේෂ වෙන දෙයක්. ඒක යම් දවසක අනාගතයේදීත් ස්මරණය වේවි. මේ කාරණා නිසයි මෙය ලිවීමට මම පෙලඹුණේ.

l ඔබේ නිර්මාණ බොහෝමයක් සිදු කෙරෙන්නේ ඔබ ජීවත්වෙන පරිසරය වටායි. මෙයටත් එවැනි සබඳතාවක් තිබේද?

අපි අහන දකින සෑම කතාවකම තියෙන්නේ අපේ අද්දැකීම්. ඒ අද්දැකීම් පරිකල්පනයත් එක්ක මුසු කරලා තමයි, කෘතියක් බිහි කෙරෙන්නේ. සත්‍ය කතාවක් වුණත් එය එහෙම පිටින්ම නිර්මාණය කෙරෙන්නේ නෑ. මේක අපේ රටේ අපි පහු කරගෙන ආපු යුගයක කතන්දරයක්. අපේ රට තරුණ නැඟිටීම් දෙකක් පහු කරගෙන ආපු රටක්. විශේෂයෙන්ම 71 සහ 88/89 කාලච්ඡේදය. එතකොට 88/89 යුගය මේ නිර්මාණයට පාදක වෙනවා. 89න් කතාව ඉවර වෙනවා.

l ඔබ NoBody යන්නෙන් අදහස් කළේ කුමක්ද?

මම මේ කතාව ලියලා ඉවර වෙලා නම් කිහිපයක් යෝජනා කළා. ඒත්, ග්‍රන්ථ ප්‍රකාශක මොහාන් රාජ්, ඒ එකකටවත් එතරම් සෑහීමකට පත් වුණේ නෑ. අපි දෙන්නම කතාව ගැන සෑහීමකට පත් වුණා. මම කතාවට උපරිමයෙන් සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතුවා. හැබැයි නම ගැන තමයි, මටත් ගැටලුවක් තිබුණේ. පස්සේ අපි දෙන්නම සෑහෙන වාද විවාදවලට ගියා. NoBody කියලා යෝජනා කළේ මොහාන්. මම ඒකට එකඟද කියලා එයා ඇහුවා. NoBody වලින් කිසිවෙක් කිසිවෙකුට වග කියනු නොලැබේ කියන අදහසක් එනවා නේ. එතකොට ඒක මේ තේමාවට බද්ධ වෙනවානේ කියලා මම හිතුවා. මොකද අපි ගත කළ එක යුගයක් තිබුණා, අපේ රටේ එක්තරා රාජ්‍ය නායකයෙක් තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න ඕනේ කියලා ප්‍රකාශ කළා. එහෙම බලනකොට අපට ආසන්න ප්‍රශ්නයක් මෑතකදී ආවා. ඒ තමයි පාස්කු ඉරිදා දින ප්‍රහාරය. ඒකට තවමත් වගකිවයුත්තෙක් නැහැනේ. ඒ වගේම අපේ රටේ හැමදාමත් කුමක් හෝ සංසිද්ධියක් වෙනවා. පසුගිය කාලවලදී ඒවා අපට අහන්න, දකින්න ලැබුණා. පුවත්පත් කලාවේදීන් අතුරුදන් කිරීම්, පැහැර ගැනීම්, ඒ වගේම යම් යම් පීඩන තර්ජන එල්ල කිරීම්. මේවායින් ඇතැම් ප්‍රශ්න තවමත් විසඳලා නැහැනේ. ඒවට වගකිවයුත්තෝ තවමත් නැහැ. මේ කරුණු කාරණා එක්කත් බැලුවාම මට හිතුණා, ඒක තමයි හරි යන නම කියලා. එහෙම අර්ථයෙන් තමයි මේ නිර්මාණය NoBody වුණේ.

l මෙහිදී ඔබ දිගහරින කතාව කුමක්ද?

එක්තරා කැරලිකාර තරුණයෙකුට සුභානි නමැති තරුණියක් හමුවෙනවා. ඇය සාම්ප්‍රදායික තරුණියක් නොවෙයි. මේ දෙදෙනා ඔවුනොවුන්ට ප්‍රිය කරනවා. මේ දෙදෙනා අතර ආදරය, අනුරාගය මුසු බැඳීමක් තිබුණාට නිශ්ශංක නමැති තරුණයා පසුබසින චරිත ස්වභාවයකින් යුක්තයි. ඊට හේතුව ඔහුගේ පෙර ජීවන අත්දැකීම්. මොහු සුභානිට නවතින්න කියනවා. ඒ මන්දයත් ඔහු සමඟ ජීවිතය ඵලක් නොවන බැවින්.

තව පැත්තකින් සුභානිගේ ගෙදර මෙහෙකාර ගැහැනු ළමයා සම්මතයෙන් තොරව දරුවකු බිහි කරනවා. අඳුර තුළ වුවත් පොඩි, පොඩි ආලෝක කදම්බ මතුවෙනවා කියන එකයි කියන්න මම උත්සාහ කළේ.

ඒ වගේම NoBody තනපටයක් නෑ කියන අර්ථයක් එනවා. ගෑනු ළමයෙක්ගේ ජීවිතේ එක්තරා අවධියකදී ශරීරය ගැන ඕනවට වඩා අවධානයක් යොමු කරනවා. සුභානිත් එවැනි අත්දැකීම්වලට මුහුණ දෙනවා. ඇයගේ ගෙදර සිටින මෙහෙකාරියත් පිරුණු ශරීරයක් තිබුණු අයෙක්. ඒත්, ඇයට තනපටයක් ගන්න මිල මුදල් නෑ. සම්ප්‍රදායන්, සමාජයෙන් ඇයට නොයෙක් අවලාද මතු කරනවා. තනපටයක් මිලදී ගැනීම ලොකු ගැටලුවක්. කුලී වැඩ කරලා උපයන මුදල මදි. ඒ නිසා ඇයට හාම්පුතාට අවනත වෙන්න සිදු වෙනවා. වර්තමාන‍ෙය් වුණත් ඒක ලොකු ගැටලුවක්. යට ඇඳුම් මිල අධිකයි. මේ ප්‍රශ්නය අදටත් 2025ටත් බලපාන දෙයක්. කිසිවෙක් කිසිවෙකුට වග නොකියයි. යන්නට මූලිකව පාදක කරගත්තෙත් ඒ නිසයි.

l Nobody කිසියම් ඇගයීමකට පාත්‍ර වූවාද?

මෙය නිකුත් වුණේ 2024 සැප්තැම්බර් මාසෙදියි. සම්මාන ගැන මගේ අවධානයක් නෑ. නමුත් සම්මානය ලේඛකයකුට උත්තේජනයක්. සම්මාන ගැන හිතාගෙන නිර්මාණ කාර්යයේ නිරත වෙන්න හොඳ නෑ. සම්මාන ලැබෙන්නේ විනිශ්චය මණ්ඩලයට සාපේක්ෂවයි. සම්මාන ලැබුණු හොඳ පොත් තියෙනවා. ඒ වගේම හොඳ පොත්වලට සම්මාන නොලැබිලත් තියෙනවා. ඒ ගැන මම එතරම් හිතන්නේ නෑ. තමන් කරගෙන යන දේ දිගටම කරගෙන යනවා. අවංකවම නිර්මාණය සාර්ථක කර කර ගන්න උත්සාහ කරන එක තමයි ලේඛකයෙකු කරන්න ඕනෑ.

l නිර්මාණයකින් පසුව ඔබේ සිත සැහැල්ලු වෙනවාද?

මගේ නිර්මාණ කාර්යය මම කළාට අතෘප්තියක් නැත්තේ නෑ. අපි කාටවත් පරිසමාප්ත කෘතියක් බිහි කරන්න බෑ. ආපහු කියවගෙන යද්දී මේ වාක්‍ය මීට වඩා හොඳට කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේ අඩුපාඩු ගැන හැඟෙනවා. මං හිතන්නේ ඒක තමයි ඊළඟ නිර්මාණකාර්යයට මාව කැඳවාගෙන යන රහස. මොකද එක නිර්මාණයක් කරලා සෑහීමකට පත්වෙලා හිටියොත්, ඊළඟ නිර්මාණය කරන්න අලසකමක් දැනෙයි.

ශ්‍යාමා සමරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT