Home » “ගයිඩ් ලයින්” එක ලිපිසරණියක් වෙලා!

“ගයිඩ් ලයින්” එක ලිපිසරණියක් වෙලා!

by sachintha
January 16, 2025 1:00 am 0 comment

අනාගත මාධ්‍ය ලෝකය පිළිබඳ නිර්ණායක සැපයීම දුෂ්කරය. එහෙත් ජනමාධ්‍යයේ අනාගතය පිළිබඳ උපකල්පන, පුරෝකථන ඕනෑතරම් පවතී. ඒවා ඇසුරු කිරීම ජනමාධ්‍ය‍ෙය් පැවැත්මට අතිශයින්ම වැදගත්ය. ජනමාධ්‍යය පැවැත්ම සඳහා මාර්ගෝපදේශන හා උපදේශනත්ව සභා පවත්වා ගැනීම වැදගත්ය. එහෙත් එය පහසු කටයුත්තක් නොවේ. මන්දයත්, අනාගතය පිළිබඳ කිසිදු විශ්වාසයක් ගොඩනඟා ගැනීමට අප අපොහොසත් වන බැවිනි.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍ර අලළා අර්ථවත් සංවාදයක් ගොඩනැඟීමේ අනගි අවස්ථාව උදාවී ඇතැ‘යි හිතමු. එය සාධනීය තත්ත්වයක් බව අපගේ පිළිගැනීම වෙයි. මන්දයත් ජනමාධ්‍ය‍ෙයන් තොර අනාගතයක් හා සමාජ සංවර්ධනයක් තිබිය නොහැකි බැවින් ය. අප ජීවත්වන්නේ ජනමාධ්‍ය සමාජයක් තුළය. එය සෑම සමාජ කණ්ඩායමක්ම පාහේ වටහාගෙන ඇත. ත්‍රස්තවාදී සංවිධාන අන්තවාදී කණ්ඩායම් පවා ජනමාධ්‍යයේ ඇති විභවතා ගැන අවදියකින් සිටින බවක් පෙනී යයි. වේළුපිල්ලේ ප්‍රභාකරන් වරක් අපේ රට හැඳින්වූයේ ප්‍රබල ජනමාධ්‍ය සමාජයක් හැටියටය. ඔහු ශ්‍රී ලංකාව යනුවෙන් නම් කළේ උතුර හැර රටේ සෙසු සියලු පළාත්ය. ප්‍රභාකරන් ජීවත්ව සිටියදී “ලන්ඩන් ටැමිල් ටයිම්ස්” නම් සඟරාවක් පළ කළේය. එහි මීට අදාළ ලිපි ගණනාවක් පළ කර තිබේ.

සුළු ජාතික ගැටලුව හා ජනමාධ්‍යය, ජාතිවාදය හා ජනමාධ්‍යය, ජනමාධ්‍ය හා මූලික මිනිස් අයිතිවාසිකම්, ජනමාධ්‍ය නිදහස, වෘත්තීය ජනමාධ්‍යවේදය ජනමාධ්‍ය‍ෙය් වගවීම, ජනමාධ්‍ය‍ෙය් ගැටුම් කළමනාකරණ හැකියාව, නව ජනමාධ්‍යය, ආචාර්ය ධර්ම පද්ධති යනාදී ලෙසින් ජනමාධ්‍ය කථිකා ගණනාවක් පසුකරලන්නට අපි සමත් වී ඇත්තෙමු. එහෙත් ඒවා අර්ථවත් දිශානතියක් කරා යොමුවූයේද යනු ගැටලුවෙකි. දැන් තවත් සංවාදයක් අප ඉදිරිපිට පවතී.

මෙයින් වසර පහකට පමණ පෙරාතුව කොළඹ ඉංග්‍රීසි කතා කරන සමාජ කණ්ඩායමක් තුළ තවත් සංවාදයක් ගොඩනැඟුණු බව අපට මතකය. එහිලා Yellow Journaligm, Rock Journalism වැනි ප්‍රවණතා ගැන පවා මතවාද ඉදිරිපත් වූ බව ද අපට මතකය. එම සංවාදයේදී අප වටහාගත් වැදගත් කාරණයක් වූයේ සංවාද කෙසේ වුව ජනමාධ්‍ය පිළිබඳ මූලික වැටහීමක් ඇතැම් සංවාදකරුවන් ළඟ පවා නොතිබූ බවය. අප මුලින් සඳහන් කළ අමෙරිකන් පත්තර කලාවේ ප්‍රවණතා දෙක, යුද්ධය, වෙළෙඳාම , ආර්ථික අර්බුදය, තාක්ෂණය, සමාජ පරිවර්තනය, කලාව ආදී ක්ෂේත්‍ර ගණනාවක් පාදක කොට අමෙරිකන් පත්තර කලාවේ ඇතිවූ ප්‍රවණතා දෙකක් වන බව පවා බොහෝ දෙනකු දැන සිටියේ නැත. කෙනකුගේ අදහස් වූයේ Yellow Journalism යනු වෙළෙඳ දැන්වීම් විශේෂයක් බවය. මෙයින් හැඟෙන්නේ ජනමාධ්‍ය පිළිබඳ අර්ථවත් සංවාදයක් පැවැත්වීම වැදගත් බවය. මේ සංවාදයේ සමාරම්භය පත්තර කලාවෙන් ආරම්භවීම වඩා වැදගත් බවද පෙනී යයි.

ගුවන්විදුලිය, පුවත්පත හා සමාජ මාධ්‍යය සම්බන්ධයෙන් පත්කොට ඇති උපදේශන සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේද අනුග්‍රහය ඇතිව ජනමාධ්‍ය අත්පොතක් නිකුත් කර තිබේ. එය හඳුන්වා ඇත්තේ “මුද්‍රිත මාධ්‍ය අත්පොත” හැටියටයි. ජනමාධ්‍යය යැයි කියුවද එහි කේන්ද්‍රය පුවත්පත බව පෙනීයයි. කෘතිය පත්තර කලාව පිළිබඳ මූලික උපදේශන ඇතුළත් අත්පොතක් සේ සැලැකීම වඩා යුක්ති සහගතබව අපගේ පිළිගැනීමය. විෂයයන් අලළා අත්පොත් නිකුත් කිරීමේ පිළිගත් ක්‍රමවේද කිහිපයක් තිබේ.

(I) විද්වත් කමිටුවක් පත්කොට එම කමිටුවේ නිර්දේශ ඇතුළත් කරමින් උපදේශන කෘතියක් ලෙස හෝ මාර්ගෝපදේශන කෘතියක් ලෙස හෝ අත්පොතක් නිකුත් කිරීම

(II) විෂයට අදාළ වැඩමුළු ගණනාවක් පවත්වා ඉදිරිවැඩ සැලැසුමක් ඔස්සේ ඉලක්ක සඳහන් කරමින් අත්පොතක් නිකුත් කිරීම

(III) ව්‍යවස්ථා සභාවක් පත්කොට මූලික නීති ඇතුළත් කෙටුම්පතක් සකස් කිරීම

අද අපගේ සංවාදයට ලක්වන අත්පොත සම්පාදනය වී ඇත්තේ උපදේශන සභාවක අධීක්ෂණය යටතේ පළවන විශේෂඥයන්ගේ ලිපි සංග්‍රහයක් හැටියටය. පුවත්පත් කලාව පාදක කරගත් විශේෂඥ ලිපි දහතුනකින් එය සංගෘහිතය. ඒ සෑම ලිපියක්ම රචනා කර ඇත්තේ එකිනෙක ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ ප්‍රාගුණ්‍යයකින් යුතු නිර්මාණශීලී වෘත්තීයවේදීන්ය. ප්‍රවෘත්ති රචනය, විශේෂාංග රචනය, සංස්කරණය, ඡායාරූප කලාව, කාටුන් කලාව, පිටුසැලැසුම්, ජනමාධ්‍යය,

නීතිය, සංකල්ප හා ප්‍රමිතීන් මේ ලිපි සංග්‍රහයට ඇතුළත්ව තිබේ. සෑම ලිපියක්ම විශේෂ බව පෙනී යයි. ඒවා රචනා කර ඇත්තේද එකී ක්ෂේත්‍රයන් පිළිබඳ විද්‍යා න්‍යායික හා ප්‍රායෝගික නිපුණතා සහිත වෘත්තීයවේදීන් වීම තවත් විශේෂයකි. නිදසුනක් දක්වතොත් ප්‍රවෘත්ති රචනය ගැන විද්‍යාත්මක විග්‍රහයක යෙදෙන දයා ලංකාපුර දීර්ඝ කාලයක් ප්‍රවෘත්ති කර්තෘවරයෙකු ලෙස කටයුතු කර ඇති නමක් ඇති මාධ්‍ය‍ෙව්දියෙකි. පුවත්පත් කලාවේදියෙකි. විශේෂාංග රචනය ගැන ලිපිය සම්පාදනය කරන දෙනගම සිරිවර්ධන සම්මානනීය නවකතාකරුවෙකි. ජනප්‍රිය විශේශාංග රචකයෙකි. සංස්කරණය පිළිබඳ ලිපිය රචනා කරන්නේ සිළුමිණ පුවත්පත ඉහළම ආදායම් වාර්තාවක් කරා ගෙන ගිය කර්තෘවරයා වන තිලකරත්න කුරුවිට බණ්ඩාර ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදියාය.

50/60 දසකවල අමෙරිකන් පත්තර කලාවේ දක්නට ලැබුණු එක් සුවිශේෂි ලක්ෂණයක් වූයේ විශේෂාංගවලට මුල්තැනක් ලබාදීමය. එහිලා ප්‍රබන්ධ කතාවෙන් විශේෂාංග රචනයට යන්න එක් තේමා පාඨයක් විය. ප්‍රබන්ධ කතාවෙහි එන කතාවස්තු ගොඩනැඟීම , චරිත නිරූපණය, ආකර්ෂණීය ආරම්භය යන මූලධර්ම අමෙරිකන් පත්‍රකලාවේදීහු ආදර්ශයට ගත්හ. එය සාර්ථක උපාය මාර්ගයක් විය. අදට වුව අමෙරිකන් පත්තර කලා‍ෙව් විශේෂාංගවල ප්‍රබන්ධ කතා ගුණය වැඩිය. මෙය විමසා බැලිය යුතු කාරණයකි. පුවත්පතක ජනමත මෙහෙයැවීමේ වැඩි බලය

පැවරී ඇත්තේ විශේෂාංග කලාව වෙතය. පර්යේෂණ සංකල්ප ගොඩනැඟීම, පුළුල් අයුරින් මහජන මතය විමසීම නව සංකල්ප ගොඩනැඟීම, විචක්ෂණය, විචාරය ඇත්තේ විශේෂාංග කලාව තුළය. එහෙත් පුවත්පතක සාර්ථකත්වය සඳහා සියලු අංග එක්විය යුතුය. පත්තර කලාව යනු සාමුහික මාධ්‍යයකි. එහි කර්මාන්තයක් පවතී. ව්‍යාපාරයක් පවතී. කලාවක් ද පවතී. ව්‍යාපරික වශයෙන් අසාර්ථක වූ කල පුවත්පත් පවත්වාගැනීම දුෂ්කර වේ. පත්තර ව්‍යාපාරයකට ලාභය අවශ්‍ය වෙයි. දැන්වීම් අනුග්‍රහය අවශ්‍ය වෙයි. බොහෝ විට අපගේ අවධානය යොමුවන්නේ පත්තර කලාවේ නිර්මාණය හා ආකර්ෂණය ගැන පමණි. එහෙත් එය ප්‍රමාණවත් නැත. වෑන් ආයතනය (W.A.N. World Association of Newspapers) මේ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදු කරයි. ලෝක පත්තර කලාවේ කර්තෘ මණ්ඩල ක්‍රියාවලිය ගැන (World Editor’s Forum) ආයතනය.

පත්තර ව්‍යාපාරයේ හා කර්මාන්තයේ යම් ඇදවැටීමක් ඇතැ’යි කියනු ලැබේ. අප ඩිජිටල් යුගයකට මුහුණ දී ඇති අතර පාඨකයන් හැලෙමින් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රමාණය ඉහළ යනු දැකගත හැකි බව ද පර්යේෂණ ආයතන පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ පත්තර ව්‍යාපාරය පසුබෑමකට ලක්වී ඇතැ‘යි සාක්ෂි සහිතව සනාථ කළ හැකිය. එහෙත් අමෙරිකාවේ, ඉන්දියාවේ, චීනයේ, ජපානයේ පත්තර ව්‍යාපාරයත්, කලාවත් දෙකම ශක්තිමත් බව බැලූ බැල්මට පෙනෙයි. විශේෂයෙන් අමෙරිකාව හා ඉන්දියාව 2050 දීත් අලුත් පත්තර මුද්‍රණය කරන්නට සූදානම් බව පුරෝකථන ඔස්සේ කියැවෙයි. අමෙරිකාවේ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’, ‘නිව්යෝර්ක් ටයිම්ස්’, ‘වොෂින්ටන් පෝස්ට්’ වැනි පත්තර දෙස බලන විට පෙනී යන්නේ ඒ කෙරෙහි ඇති ආකර්ෂණය අඩු වී නැති බවයි. එලෙසම පත්තරය කෙරෙහි පැවැති පාඨක විශ්වාසය පවත්වා ගැනීමට කර්තෘ මණ්ඩලය සමත් වී ඇති බවය.

ඉලෙක්ට්‍රොනික මාධ්‍යය කෙතරම් බලපෑම්කාරී වුව, ඒවා ඉතා ශීඝ්‍ර‍ෙයන් වෙළෙඳපොළ අල්ලා ගන්නේ වුව පත්තරයකට පැවැතීමේ හැකියාව ඇතැ‘යි යන්න තර්කයක් ලෙස පවතී, මේ තර්කයට අනුගත වදන් ආයතනය පුවත්පතේ කාර්යභාරය විමසමින් සිටී. පුවත්පත සිය අභියෝග ජයගත යුතු ආකාරය ගැන උපාය මාර්ගික සැලැස්මක් සෑම පුවත්පත් ආයතනයකටම තිබිය යුතුය. නැතහොත් තනි – තනිව නිර්මාණය කරගත යුතුය. මේ අනුව සෑම ආයතනයකටම පර්යේෂණ දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යෑමේ හැකියාව තිබිය යුතුය.

අපේ රට සතුව විශාල චැනල් ප්‍රමාණයක් පවතී. ඔරොත්තු නොදෙන තරම් පත්තර ප්‍රමාණයක් ද පවතී, එහෙත් මේ එකිනෙක ආයතන චැනල් හා ඒවායෙහි කළමනාකාරීත්වය තම – තමන්ගේ වගවීම් – කාර්යභාරයන් නිවැරැදිව හඳුනාගෙන ක්‍රියා කරන්නේ ද යනු ගැටලුවකි. අප්‍රිකානු මහාද්වීපය තුළ සුවිශාල ජාතික වගකීම් ප්‍රමාණයක් කරට ගෙන ක්‍රියා කරන රේඩියෝව ශ්‍රී ලංකාවේ දී භාෂාව විකෘති කරන හා විහිළු සපයන විනාශකාරී මෙවලමක් බවට පත්වැ තිබේ. අපේ ආයතන ජාතික වගකීම් වටහාගෙන නැත. තම කාර්යභාරයන් තෝරා බේරාගෙන නැත. මේවාට නියාමනයක් තිබිය යුතුය. උපදේශනයක් සැපයිය යුතුය.

මෙහිලා වැදගත් වන ප්‍රමුඛ කරුණු දෙකක් තිබේ. පළමුවන්න; මාධ්‍ය ආයතනය ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම. එය අභියෝගයකි. එම අභියෝගය ජය ගැනීමේ පළමු කොන්දේසිය වන්නේ ජනතාවගේ විශ්වාසය හා ආකර්ෂණය දිනාගැනීමය. දෙවන්න; ජනමාධ්‍යයක් ලෙස ජනතාවගේ හඬ බවට පත්වෙමින් ජාතික වගවීම වටහාගෙන ක්‍රියා කිරීමය. එය තවත් අභියෝගයකි! ජාතික වගවීම වටහා ගැනීම කර්තෘ මණ්ඩලයට පමණක් භාර දී අත පිසදා ගැනීමේ හැකියාවක් කළමනාකාරීත්වයට නැත. මේ පාර්ශ්ව දෙකම ජාතික වගවීම් වටහාගත යුතුය. ඒ අනුව සැලැසුම් හා ඉලක්ක සපයාගත යුතුය. මේ එකක්වත් පහසු කාර්යයන් නොවේ.

ජනමාධ්‍ය විෂයය සම්බන්ධයෙන් වැදගත් වන අමෙරිකන් කෘති දෙකක් මේ මොහොතේ අප සිහියට නැඟේ.

(i) A Future for The News

(ii) Media Ethies

ජනසන්නිවේදන විෂය පිළිබඳ මහාචාර්යවරයකු වන ජිම් කීපර් පළමු කෘතිය සංස්කරණය කර තිබේ. ජනමාධ්‍ය විෂයයට අදාළ පර්යේෂණ කාර්යයන්හි නිරත විද්වතුන් 18 දෙනකුගේ පර්යේෂණ ලිපිවලින් කෘතිය සමන්විතය. පරිච්ඡේද දොළහකින් යුතුව මෙහිලා විවරණයට ලක්වන්නේ අනාගත ප්‍රවෘත්ති කෙසේ සකස් විය යුතු ද? ඒවා තෝරාගත යුතු නිර්ණායක මොනවා ද? ආදිය ගැනය. දෙවන කෘතියෙන් විග්‍රහ වන්නේ ජනමාධ්‍යයේ අනාගත ආචාර ධර්ම කෙසේ විය යුතු ද යන්න ගැනය. යුද්ධය, ගැටුම්, ජන සංහාර, දුප්පත්කම, නූගත්කම කෙසේ නිරූපණය විය යුතු ද? ඒවා පිළිබඳ ප්‍රවෘත්ති කවරාකාර විය යුතු ද? කෙසේ ඉදිරිපත් කළ යුතු ද? යනුවෙන් දීර්ඝ විස්තර ඊට ඇතුළත්ය. කොටින්ම අනාගත මාධ්‍ය ලෝකය ගැන උපකල්පනය කරන විට මේ කෘති දෙකෙන් ලබාගත හැකි උපදේශනය ඉතා වැදගත්ය.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT