Home » සජබ-එජාප අතර නිල සාකච්ඡාවක් නෑ
විකල්ප මතය

සජබ-එජාප අතර නිල සාකච්ඡාවක් නෑ

-සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

by sachintha
January 16, 2025 3:47 am 0 comment

ආණ්ඩුව තාම පීල්ලට වැටී නැහැ යහපාලන දින සියයේදී ඉලක්ක රැසක් ජය ගත්තා ජනතා අපේක්ෂා දැන් ඉටු කරන්න

සමගි ජන බලවේගයේ ඉදිරි දේශපාලන ගමන් මඟ, එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡාවල ඇත්ත නැත්ත කුමක්ද, ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සමඟ කිසියම් එකඟතාවක් ඇති කර ගෙන ඉදිරියට යාම ගැන කතාබහක් ඇතිව තිබෙනවා මේ ආකාරයේ එකඟතා රටේ දේශපාලන ගමන් මඟට බලපාන්නේ කුමන ආකාරයටද?

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර අතර නිල සාකච්ඡාවක් තවමත් පවත්වා නැහැ. එහෙත් එවැනි එකඟතාවක් පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා. අප දෙපාර්ශ්වය කාලයක් එකට දේශපාලනය කළ එක මඟක වැඩ කළ පිරිසක්. ඒ නිසා එකට වැඩ කිරීම විස්මයට පත් වෙන්න ඕනෑ දෙයක් නොවෙයි. අප දෙගොල්ලො අතර සමානතා බොහොමයක් තිබෙනවා. කොහොමත් විපක්ෂය විදිහට පොදු සමඟියක් ඇති කර ගැනීම දේශපාලන වශයෙන් හොඳ දෙයක් විතරක් නොවෙයි හොඳ උපක්‍රමයක් විදිහටත් සඳහන් කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය විතරක් නොවෙයි අපේ ප්‍රතිපත්තිවලට සමීප සියලු දේශපාලන කණ්ඩායම් සමඟ වැඩ කිරීමට අප සූදානම්වයි සිටින්නේ.

පොදු සමඟි එකඟතාවක් පිළිබඳව පාක්ෂිකයන් අතරින් ඉල්ලීමක් මතුව තිබෙනවා නේද?

දක්ෂිණාංශික කඳවුර එකට එක් විය යුතු බවට පසුගිය කාලය තුළ විශාල මතයක් ගොඩනැඟුණා. මැතිවරණ පරාජයන් සමඟ මේ එකඟතාව ඇති විය යුතු බවට ගම් මට්ටමෙන් අදහසක් ඇතිව තිබෙනවා. අප මේ පාක්ෂික මතය ගැන අවධානය යොමු කළ යුතුයි. එවැනි එකඟතාවක් ඇති කර ගැනීම තුළින් විපක්ෂය විදිහට ඉදිරියේදී අපට ජනතාව අතර පදනම තවදුරටත් සාර්ථක කර ගැනීමට, ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙන බව ස්ථිරයි. ඒ තත්ත්වය තුළ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අප නැවත නැඟී සිටීම ආරම්භ කරනු ලබනවා.

ඔබ ඇතුළු සමගි ජන බලවේගය ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහමැතිවරණයේදීත් සඳහන් කළේ ජනාධිපතිවරණය පරාජය වුණත් මීළඟට එළඹෙන මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට දැනෙන අභියෝගයක් කරන බවයි, එහෙත් මහමැතිවරණයේදී පක්ෂය ලොකු කඩා වැටීමකට ලක් වුණා. මෙවර පළාත් පාලන මැතිවරණයේදීත් එයම වෙයිද?

නැහැ, එදා ජනාධිපතිවරණ ජයග්‍රහණය සමඟ ආණ්ඩුව ප්‍රකාශ කළා ඔවුනට ඉදිරි වැඩ කරගෙන යාමට නම් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් සරල බහුතරයක් ලබා දෙන්න කියලා. ජනතාව ඒ ඉල්ලීම නොසලකා ආණ්ඩුවට තුනෙන් දෙකකට වැඩි අතිවිශාල බහුතර ආසන ප්‍රමාණයක් ලබා දුන්නා. දැන් ඔවුන් තුනෙන් දෙකකට වැඩි බලයක් අරගෙන දවස් පනහකට වැඩියි. ඒත් ජනතාව අපේක්ෂා කළ වෙනස ඇති කිරීමට ආණ්ඩුව සමත්ව සිටිනවාද? දැන් ජනතාව ඒ ගැන ප්‍රශ්න කරනු ලබනවා. ජනතාවගේ කිසිම ගැටලුවකට ආණ්ඩුවට සාර්ථක විසඳුමක් ලබා දීමට හැකියාව ලැබී නැහැ. ඒ නිසා ජනතාව දැන් යම් කලකිරීමකට පත්ව සිටිනවා. ඒ නිසා ජනතාව ඉදිරියේදී ආණ්ඩුවේ මන්දගාමී බවට විරෝධය පළ කිරීමට විපක්ෂය වෙත නැඹුරු වීම වැළැක්වීමට බැහැ. ඉදිරියේදී සමගි ජන බලවේගය වෙත වැඩි පළාත් පාලන ආයතන ප්‍රමාණයකම බලය ලබා දීමට ජනතාව කටයුතු කරනු ඇතැයි විශ්වාසයි.

ඔබ කියන ජනතා පෙළ ගැස්ම සමගි ජන බලවේගය නිකම් බලා සිටීමෙන් හැකියාව ලැබෙයිද?

නැහැ, අපි නිකම් බලා සිටින්නේ නැහැ. දැනටමත් පක්ෂය ගම් මට්ටමෙන් ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබෙනවා. පක්ෂය තුළත් ප්‍රතිසංස්කරණ සිදු කරනු ලබනවා. ඒ නිසා අප පක්ෂයක් විදිහට කරනු ලබන සියලු ප්‍රතිසංවිධාන තුළ ඉහළ ප්‍රතිචාර දැනටමත් ලැබෙමින් තිබෙනවා. ඒ නිසා අප පක්ෂයක් විදිහට නිකම් බලා සිටින්නේ නැහැ. ඉදිරි ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් සිටිනවා.

ඉදිරි කාලය තුළ පුරප්පාඩු ආසන සංවිධායකවරු පත් කිරීම සිදු කරනු ලබනවා. දුර්වලතා තිබෙන සංවිධායකවරු සිටිනවා නම් ඔවුන් පිළිබඳවද සලකා බලා පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය පියවර ගන්නවා.

මැතිවරණ මෙහෙයුම් කමිටුද පිහිටුවනු ලබනවා. ඒ හරහා ගම් මට්ටමේ මැතිවරණ ජාලය ශක්තිමත් කිරීම තමයි අපේ අරමුණ සහ ඉලක්කය බවට පත්ව තිබෙන්නේ. ඒ සියලු කාර්යයන් කරන්නේ අපේ ඉදිරි දේශපාලන ජයග්‍රහණ අපේක්ෂාවෙන්.

සමගි ජන බලවේගයේ නායකත්වය වෙනස් විය යුතු බවටත් විවිධ අදහස් පළ වෙනවා?

නැහැ, සමගි ජන බලවේගයේ නායකත්වය වෙත රට පුරා විශාල කැමැත්තක් ප්‍රසාදයක් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී අප පරාජය වුවත් ඔහුට විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. ඒ නිසා නායකත්ව වෙනසක් කිරීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු අදහසක් නැහැ. ඔහු වටා තමයි අපේ පක්ෂය ශක්තිමත් ලෙස නැවත ගොඩනැඟෙමින් තිබෙන්නේ.

සමගි ජන බලවේගය කියන්නේ තනි පක්ෂයක් වුවත් සමගි ජන සන්ධානය කියන්නේ තවත් පක්ෂ රැසකින් සැදුම්ලත් සන්ධානයක්, මේ සන්ධානයේ ඉදිරි කටයුතු කොහොමද?

අප සමඟ කටයුතු කරනු ලබන සියලු පාර්ශ්ව සමඟ අප අවබෝධයෙන් කටයුතු කරනවා. සියලු ජන කණ්ඩායම්, ජන කොටස් නියෝජනය කරනු ලබන ප්‍රධාන දේශපාලන පක්ෂ සිටින්නේ අප සමඟයි. අපට උතුරු නැඟෙනහිර, කඳුකරය ඇතුළු ප්‍රදේශවල ඒ පක්ෂවලට විශාල ශක්තියක් තිබෙනවා. ඒ සියලු දේ තුළ අපට විශ්වාසයි සමගි ජන සන්ධානය විදිහට නැවත අපට ඉක්මනින් ජයග්‍රාහී මාවතට පිවිසෙන්න පුළුවන්කම තිබෙනවා කියලා.

ආණ්ඩුවේ දින සියය ඉක්මවා සිය පාලනය ඉදිරියට මෙහෙයවමින් ඉන්නවා ආණ්ඩුවේ ගමන් මඟ ගැන ඔබේ අදහස කුමක්ද?

2022 අරගලයේ ප්‍රතිඵලයක් විදිහට තරුණ කණ්ඩායම් අතර අදහසක් ඇති වුණා පැවැති ආණ්ඩුවට විරුද්ධව. එහිදී තවත් මතයක් ඇති වුණා සමගි ජන බලවේගය වැනි දේශපාලන පක්ෂත් පැවැති ආණ්ඩුවේ පක්ෂය වගේම පිටුදැකිය යුතු බවට. දෙසිය විසිපහම එකයි කියන අදහස මතු වුණෙත් ඒ විදිහටයි. තරුණ පිරිස් තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුව පත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ. ඒත් අද වන විට තරුණ පිරිස් අතර මේ ආණ්ඩුව කෙරෙහි තිබුණු ප්‍රසාදය වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. එපමණක් නොවෙයි, ඇතිව තිබෙන සහල් අර්බුදයට ආණ්ඩුවෙන් විසඳුමක් ලැබුණේ නැහැ, තෙල් මිල ගැන, විදුලි බිල ගැන කියූ කතා අද සුරංගනා කතා බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා මේ කෙටි කාලය තුළ ආණ්ඩුව පිළිබඳව තිබූ ප්‍රසාදය යම් පමණකට අඩුවෙලා තිබෙනවා. ඒ සමඟ සමගි ජන බලවේගය වෙත ජනතාව නැඹුරු වෙමින් තිබෙනවා.

අප 2015 දී යහපාලන ආණ්ඩුව පිහිට වූ පසු පැවති මුල් දින සියය තුළ ඉලක්කගත වැඩපිළිවෙළක් සිදු කළා. ඒ සඳහා කාලසටහනක් පවා තිබුණා. ව්‍යවස්ථා සංශෝධන ඇතුළු ප්‍රධාන කාර්ය වගේම ඉන්ධන මිල පහළ දැමීම වගේ ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කළා. ඒ නිසා මේ ආණ්ඩුවේ දින සියයට වඩා අපේ දින සියය තුළ ලොකු වැඩ ප්‍රමාණයක් ඉටු කළා.

මේ ආණ්ඩුවට ඒ විදිහේ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට පුළුවන්කමක් ලැබී නැහැ.

එහෙම වෙන්න හේතුව මොකක්ද?

කතා කිරීමේ හැකියාව තිබීම සහ වැඩ කිරීම කියන්නේ එකක් නොවෙයි දෙකක්. අද මේ ආණ්ඩුවෙන් ඒ බව තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම යම් කාර්යයක් ඉටු කරන්න කිසියම් පළපුරුද්දක් තිබෙන්න ඕනැ. මම කියන්නේ නැහැ ආණ්ඩුවේ සියල්ලන්ටම පළපුරුද්දක් නැහැ කියලා. ඒත් ආණ්ඩුකරණය පිළිබඳව මීට වඩා සාර්ථකභාවයක් ලබා ගන්න ඕනෑ, රට ඉදිරියට අරන් යන්න නම්.

ඔබ කියනවා මේ ආණ්ඩුවට පළපුරුද්ද නැති බව. මීට පෙර පළපුරුද්ද ඇති අයනෙ රට පාලනය කළේ, ඔවුන්ද අවසානයේදී අසාර්ථක වුණා?

මම කියන්නේ වෙනත් පක්ෂ ගැන නොවෙයි. සමගි ජන බලවේගය පිළිබඳව. අපේ පක්ෂය තුළ සියලු අංශවල දක්ෂතා ඇති පළපුරුදු පිරිසක් කටයුතු කරනවා. අපට රට භාරගෙන පාලනය කිරීමේ හැකියාවක් සහ පළපුරුද්දක් තිබෙනවා.

ජාතික ජන බලවේගය පිළිබඳව ජනාධිපතිවරණයට පෙර එල්ල වූ ප්‍රසිද්ධ චෝදනාවක් වූයේ රට නැවත ආර්ථික වශයෙන් බිඳ වැටීමක් වූ විට එය කළමනාකරණය කිරීමට ඔවුනට හැකියාවක් නොලැබෙනු ඇති බවටයි. ඒත් දැන් ආණ්ඩුව නිසි ආර්ථික පීල්ලේ රට ඉදිරියට ගෙන යනවා?

මේ අය බලය ඉල්ලුවේ පැරණි පාලන ක්‍රමය, ආර්ථික ක්‍රමය ඉදිරියට අරන් යන්න නොවෙයි, අලුත් මාර්ගයකට රට අරන් යාමටයි. ඒත් ආණ්ඩුව බලයට පැමිණි විගස කළේ පැරණි මාර්ගයේම රට අරන් යාමයි. ඒත් අප බලයට ආවානම් රටට අහිතකර ජාත්‍යන්තර කොන්දේසි වෙනස් කිරීමටත්, රටට හිතකර කොන්දේසි මත ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරියට අරන් යාමටත් අප සූදානම්ව සිටියේ. එහෙත් වර්තමාන ආණ්ඩුව පරණ පාරේ ඉස්සරහට යන පිරිසක් විදිහටයි අපට නම් පෙනෙන්නේ.

ආර්ථිකය අලුත් පාරකට ගෙන එනවා කියපු පිරිස් අද වන විට සිදු කරමින් සිටින්නේ රටට අවශ්‍ය දේ හෝ ජනතාව අපේක්ෂා කළ දේ නොවෙයි. ආර්ථික වැඩපිළිවෙළක් තබා සහල් ටික නිසි විදිහට ජනතාව වෙත ලබා දෙන්න මේ පිරිසට හැකියාව ලැබී නැහැ. ඒ වගේ අයට ආර්ථිකය ඉදිරියට අරන් යාමට හෝ අලුත් ආර්ථික සංකල්ප මත ඉදිරියට කටයුතු කිරීමටත් හැකියාව නැහැ. අයි.එම්.එෆ්. යාම වැරැදියි කියපු අය අද මේ ක්‍රමය කරතියාගෙන යනවා. මේ ආණ්ඩුව අනුගමනය කරන්නේ කුමන ප්‍රතිපත්තියක්ද කියන එක අද වන විට ගැටලුවක් බවට පත්වෙලා ඉවරයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව ඔබේ පක්ෂයේ අදහස කුමක්ද?

මේ වැඩසටහන සංකල්පයක් විදිහට හොඳයි. ඒත් එය නිසි විදිහට ක්‍රියාත්මක වීම වෙනුවට සිදු කරනු ලබන්නේ වාහනවල කෑලි ගැලවීම. එවැනි සරල කරුණුවලින් මේ වගේ වැඩපිළිවෙළක් සාර්ථක කර ගන්න බැහැ.

උදිත ගුණවර්ධන

ඡායාරූපය – වාසිත පටබැඳිගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT