බංග්ලාදේශයේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් බිලියන 5ක වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ලවීමේ පීඩනය හමුවේ බ්‍රිතාන්‍ය භාණ්ඩාගාර ලේකම් තුලිප් සිද්දීකි සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ ඥාති දියණියක වන තුලිප් එම වංචාවට හවුල් වූ බව බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසම විසින් හෙළි කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
තුලිප්ට එල්ලවී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධව පිළිගත හැකි සාක්ෂි නැති බව බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ශ්‍රීමත් ලොරී මැග්නස් ප්‍රකාශ කර ඇති අතර, ශෙයික් හසීනා සමඟ සමීප සම්බන්ධතාවක් පැවැත්වීමෙන් එවැනි අවදානමකට ලක්වනු ඇතැයි තුලිප් අවධානයෙන් නොසිටීම කනගාටුවට කරුණක් බව ද සඳහන් කර තිබේ. ඇය ධුරයෙන් ඉවත්වීමට පෙර බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම ඇයට එරෙහිව දෙවැනි චෝදනාවත් එල්ල කර තිබූ බව වාර්තා වේ.
රුසියානු සමාගමක් විසින් මෙහෙයුම් කටයුතු සිදු කළ ඩකා අගනුවර සිට කිලෝමීටර් 160ක පමණ දුරින් පිහිටි රූපූර් න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියේදී අගමැතිනි ශෙයික් හසීනා සහ ඇගේ පුත්‍රයා වන සජීබ් වසීඩ් සමඟ එක්ව එම මහ පරිමාණ මූල්‍ය වංචාව සිදු කළ බවට බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම චෝදනා කර තිබිණි.