Friday, May 9, 2025
Home » සිමෙන්ති කොට්ටයක් රැගෙන පාර මාරු වූ සෙල්වා කාරයේ ගැටී උඩින් ගිහින් විසි වුණා
මෝටර් රථයක ගැටී මියගිය දෙදරු පියාගේ මරණ පරීක්ෂණය:

සිමෙන්ති කොට්ටයක් රැගෙන පාර මාරු වූ සෙල්වා කාරයේ ගැටී උඩින් ගිහින් විසි වුණා

-ගලිගමුවේ ව්‍යාපාරික තාරක සාක්කි දෙයි

by sachintha
January 16, 2025 1:10 am 0 comment

“කොළඹ ඉඳලා මහනුවර පැත්තට ධාවනය වෙමින් තිබුණු කාර් රථයක සෙල්වා හැපිලා මීටර් 35ක් 40ක් පමණ ඉදිරියට උඩින් ගිහින් විසි වෙලා පාරට වැටුණා” යැයි සිමෙන්ති කොට්ටයක් කරේ තබාගෙන කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය හරහා මාරුවෙමින් සිටිය දී මෝටර් රථයක ගැටී මිය ගිය දෙදරු පියාගේ හදිසි මරණ පරීක්ෂණයේදී ගලිගමුවේ ව්‍යාපාරිකයකු වන තාරක ප්‍රභාෂණ කරුණාරත්න මහතා (35) පැවසීය.

මෙලෙස මියගොස් තිබුණේ නුවරඑළිය දික්ඔය වනරාජා වතුයායේ පදිංචිව සිටි 39 හැවිරිදි ජෙයා මුනින්ද්‍රන් සෙල්වේන්ද්‍රන් නමැති දෙදරු පියෙකි.

එහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් කරුණාරත්න මහතා මෙසේ ද පැවසීය.

‘මම ව්‍යාපාර දෙකක් පවත්වාගෙන යනවා. එකක් බගවන්තලාව හැටන් නෝවුඩ් ප්‍රදේශවලින් තේකොළ කොළඹට ප්‍රවාහනය කර බෙදා හරිනවා. ඒ හැරුණු විට ගලිගමුව නගරයේ ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළෙඳසලක් පවත්වාගෙන යනවා. මියගිය සෙල්වා මගේ ලොරිවල රිය සහායක ලෙසත්, වෙළෙඳසලේ සේවකයකු ලෙසත් අවුරුදු පහක පමණ කාලයක සිට සේවය කරනවා. පසුගිය සිකුරාදා රාත්‍රි 9.30ට පමණ මම සිමෙන්ති කොට්ට පහක කොන්ක්‍රීට් මිශ්‍රණයට බඩු දමමින් මිශ්‍රණය උඩට නැඟලා හිටියා. සිමෙන්ති කොට්ට හතරක් මිශ්‍රණය ළඟ තිබුණා. එක සිමෙන්ති කොට්ටයක් මදි වුණා. සෙල්වා පාරෙන් එහා පැත්තේ ඇරලා තිබුණු කඩේට ගිහින් සිමෙන්ති කොට්ටයක් අරගෙන කරේ තියාගෙන පාර මාරු වෙන්න හදන කොට වාහන දෙකකට ඉස්සර කරමින් අධික වේගයෙන් ධාවනය වෙමින් තිබුණු කාර් රථයක සෙල්වා ගැටුණා. කරේ තිබුණු සිමෙන්ති කොට්ටය බිමට වැටිලා සෙල්වා මීටර් 35ක්, 40ක් දුරට ඉදිරියට විසි වෙලා ගිහින් වැටුණා.

ඒ වෙලාවේ කාර් රථයේ රියැදුරු තිරිංග ක්‍රියාත්මක කළේ නෑ. පස්සේ මම කෑගහලා සිමෙන්ති මිශ්‍රණයෙන් බැහැලා ගිහින් සෙල්වා උස්සාගෙන අරගෙන මගේ ලොරියකින් කෑගල්ල මහ රෝහලට රැගෙන ආවා. රැගෙන එනකම් සෙල්වා වචනයක්වත් කතා කළේ නෑ. පස්සේ මම අනතුර සම්බන්ධයෙන් සෙල්වාගේ බිරියට කතා කර කිවුවා. මම රෝහලේ සිටිය දී 14 වැනිදා පාන්දර සෙල්වා මියගියා.”

මියගිය දෙදරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (14) කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නෙරංජා උදය කුමාරි මහත්මිය විසින් සිදු කරන ලදී. රිය අනතුරක් හේතුවෙන් වූ හදිසි මරණයක් බවට කෑගල්ල හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළාය.

කෑගල්ල මූලස්ථාන පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් දහනායක විමර්ශන කටයුතු සිදු කළේය.

කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT