Home » ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට උපකරණ ගන්න අඩු පොලී ණයක් දිය හැකිදැයි බලන්න

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට උපකරණ ගන්න අඩු පොලී ණයක් දිය හැකිදැයි බලන්න

-ඇමැති නලින්දගෙන් නිලධාරීන්ට උපදෙස්

by sachintha
January 16, 2025 1:02 am 0 comment

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වෘත්තීයමය උපකරණ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර අඩු පොලියක් යටතේ ණය මුදලක් ලබා දීමේ හැකියාව සොයා බලන්නැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශ පරීශ්‍රයේ ඊයේ (15) පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඇමැතිවරයා මේ උපදෙස් දුන්නේය.

මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉල්ලීම් 11ක් ඇතුළත් සංදේශයක් කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙහිදී ඇමැතිවරයා වෙත ලබාදුන් අතර එම සංදේශයේ ඇතුළත් කරුණු පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද සම්බන්ධ කර ගනිමින් ඇමැතිවරයා දීර්ඝ සාකච්ඡාවක නිරත වෙමින් කරුණු සොයා බැලීය. විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැළෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටලු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රියව මාධ්‍ය වෘත්තීයේ නියැළීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, එමෙන්ම සිය වෘත්තීය නිපුණතාව වර්ධනය කර ගැනීම සඳහා නේවාසික හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමටත් පියවර ගන්නා බව ඇමැතිවරයා පැවසීය.

මෙහිදී එම නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු කිහිපයකටම අදාළ විසඳුම් ඒ මොහොතේම ලබා දීමට ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර තවත් ඉල්ලීම් කිහිපයක්ම ඉටු කර දීමට තමා පියවර ගන්නා බව ඇමැතිවරයා කියා සිටියේය. ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් යළි ඇති කිරීමට මෙහිදී ඇමැතිවරයා සිය අවධානය යොමු කළ අතර ඒ සඳහා විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මාධ්‍යවේදීන් සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන හැඳුනුම්පත මින් ඉදිරියට ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණක් නිකුත් කිරීම ඇතුළු ප්‍රා‌දේශීය මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම් රාශියකට සිය එකඟතාව පළ කරමින් එම ඉල්ලීම් ඉටු කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කැපවීම තම රජය බෙහෙවින් අගය කරන බවත් එම මාධ්‍යවේදීන් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභයන්ට වඩා සපයන සේවාවෙන් ලබන්නාවූ තෘප්තිමත්භාවයෙන් සෑහීමකට පත්වන පිරිසක් බව හොඳින්ම තේරුම්ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒන්.ඒ.කේ.එල්. විජේනායක, කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති නිශාන්ත ප්‍රියදර්ශන, ලේකම් චතුර දේශාන් මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT