Home » ‌ඖෂධ මාෆියාවෙන් වැටුප් ලබන මාධ්‍යකරුවනුත් ඉන්නවා

‌ඖෂධ මාෆියාවෙන් වැටුප් ලබන මාධ්‍යකරුවනුත් ඉන්නවා

CIDයට පැමිණිල්ලක්: ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජේමුණි

by sachintha
January 16, 2025 3:53 am 0 comment

ඖෂධ සමාගම්වල අවශ්‍යතා ඉටු කරමින් ඔවුන්ගෙන් මාසිකව වැටුප් ලබන මාධ්‍යකරුවන් සිටින බවත් ඒ සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද සිදු කර තිබෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

මෙම මාධ්‍යවේදීන් තමන් සේවය කරන ආයතනය වෙනුවට සේවය ලබා දෙන ඖෂධ සමාගම්වලින් වැටුප් ලබන බවත් මුදල් වෙනුවෙන් මොවුන් නොයෙකුත් සාවද්‍ය ප්‍රවෘත්ති සමාජගත කරමින් සිටින බවත් ඒ මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය නිරීක්ෂණයට එක්වෙමින් ඊයේ (15) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

මාධ්‍යවේදීන් ලෙස පෙනීසිටිමින් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තොරතුරු ලබා ගෙන ඒවා ඒ මොහොතේදීම ඖෂධ සමාගම් නියෝජිතයන්ගේ අතට පත් කරන බවත් කී ඒ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අභූත චෝදනා එල්ල කරමින් මඩගැසීම මොවුන්ගේ එක් කාර්යභාරයක් යැයි ද අවධාරණය කළේය.

මොවුන්ගේ ප්‍රහාරයන්ට වැඩිපුර ලක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින, නීතියට අනුවම කටයුතු කරන නිලධාරීන් බව ද විජේමුණි මහතා කීය.

පසුගිය කාලය තුළ ඇතැම් ඖෂධ සමාගම් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් ඖෂධ වර්ග රටට ආනයනය කළ බවත් එය බිඳ දමා සමාගම් කිහිපයකට අදාළ අවස්ථාව ලබා දීමෙන් ඇතැම් ඖෂධවල මිල 200 ගුණයකින් පමණ අඩු වූ බවත් ඒ මහතා පැවසුවේය.

එලෙස රුපියල් 70,000ට සෞඛ්‍ය අමාත්‍යාංශය මිලට ගත් ඖෂධයක මිල රුපියල් 370ක් දක්වා පහත වැටුණු බවත් ඒකාධිකාරයක් පවත්වා ගෙන යන ඖෂධ සමාගම්වලින් යැපෙමින් ඇතැම් මාධ්‍යවේදීන් සිදු කරන ක්‍රියාව කිසිවකුත් අනුමත නොකරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒකාධිකාරය බිඳ දමා සමාගම් කිහිපයකට ඖෂධ ගෙන්වීමේ අවස්ථාව ලබා දී තිබෙන බවත් ඉදිරියේ දී සැලකිය යුතු ලෙස මෙරට ඖෂධ ගණනාවක මිල පහත යනු ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

ජනමාධ්‍යවලට බලපෑම් කිරීම හෝ පාලනය කිරීම රජයේ අපේක්ෂාව නොවන බවත් රජයට අයත් මාධ්‍ය ආයතනවලට පවා කිසිඳු බලපෑමකින් තොරව නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම උදා කර දී තිබෙන බවත් කී ඒ මහතා රජය අපේක්ෂා කරන පොහොහොත් රටේ එක් කොටසක් වන්නේ නිදහස් මාධ්‍ය යැයි ද අවධාරණය කළේය.

ආචාරධර්ම ගරු කරන ජනමාධ්‍යවේදීන් රටට අවශ්‍ය බවත් ජනමාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍ය සංවිධාන ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ කාර්යභාර නිලධාරී තනූජ අබේසේකර මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT