– ඇස්තමේන්තුව කෝටි 10යි
– චිත්‍රපට නිෂ්පාදනයට දුන් කෝටි 12කුත් ගිලලා
විගණන වාර්තාවක් කියයි
ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රය තුළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් ඉදිකිරීම් ඇරඹූ කෞතුකාගාරයක් ද සහිත පුස්තකාල ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් වසර 5ක කාලයක් තිස්සේ ඉදිකිරීම් ඇනහිට තිබේ.
රුපියල් 99,965,061 ඇස්තමේන්තුගත වටිනාකමකින් යුතුව ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පවරා දෙමින් 2019 අප්‍රේල් මස 5 වැනිදා එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
නාගරික සංවර්ධන අධිකාරියේ සහ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් රහිතව ආරම්භ කර ඇති මෙම ඉදිකිරීම වෙනුවෙන් 2023 දෙසැම්බර් 31 දින වන විට රුපියල් 3,134,107ක් ගෙවීම් කර තිබේ.
මෙම ගොඩනැඟිල්ලේ ඇති යකඩකූරු දැඩි ලෙස හානියට ලක්වීම නිසා ගොඩනැඟිල්ල විනාශ වෙමින් පැවතුණ බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.
එසේම 08/2022 දරන ජාතික අය-වැය චක්‍රලේඛයට පටහැණිව ජනාධිපති සම්මාන උලෙළ පැවැත්වීමෙන් පසුදින ඊට සහභාගි වූ පාර්ශ්ව 45 කට පෞද්ගලික හෝටලයකදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇත.
රාජ්‍ය ආයතන මඟින් පවත්වන උත්සව, විවෘත කිරීම්, සම්මන්ත්‍රණ ඇතුළු අත්‍යවශ්‍ය නොවන හා ප්‍රමුඛ නොවන වියදම් අත්හිටුවමින් ඒවා සඳහා රාජ්‍ය මුදල් භාවිත නොකරන ලෙස දැනුම් දෙමින් එකී චක්‍රලේඛය නිකුත් කර තිබේ. ජනාධිපති සම්මාන උලෙළ පැවැත්වීමෙන් පසු දින ඊට සහායක වූ ජූරි සභිකයන් හා අනෙකුත් පාර්ශ්ව වෙත භෝජන සංග්‍රහයක් පැවැත්වූ බව චිත්‍රපට සංස්ථාවේ කළමනාකාරීත්වය විගණනය හමුවේ සඳහන් කර තිබේ.
මේ අතර චිත්‍රපට නිෂ්පාදනය හා සිනමාශාලා සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබාදුන් මුදල්වලින් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් (රුපියල් 121818284) අයකර ගැනීමට කටයුතු කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.
කළමනාකරණය විසින් එම මුදල අයකර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නැති බව ද එම වාර්තාවේ දැක්වේ.
2023 දෙසැම්බර් 31 දිනට චිත්‍රපට නිෂ්පාදනයට සහ සිනමාශාලා සඳහා ලබාදී ඇති ණය මුදල්වලින් රුපියල් කෝටි අටක් (රුපියල් 88,503,920) සහ සිනමාශාලාවලින් ලැබිය යුතු හිඟ මුදල් කෝටි 38 (රුපියල් 389,961,318) ක් ඇතුළුව රුපියල් කොටි 47ක (රුපියල් 478,465,238) මුදලක් සංස්ථාව වෙත ලැබිය යුතුව තිබුණි. සංස්ථාවට ලැබිය යුතු එම මුළු මුදලින් රුපියල් කෝටි 35ක් (රුපියල් 356,646,954) අධිභාර සහ හානිකර ගැළපීම නිසා 2023 දෙසැම්බර් 31 දිනට අයකර ගත හැකි ශුද්ධ ණය ශේෂය කෝටි 12ක් (රුපියල් 121,818,284) වී ඇත. එනම් මුළු ණයගැතියන්ගෙන් සියයට 25.46කි.
චිත්‍රපට නිෂ්පාදනය සඳහා ලබාදී ඇති ණය නැවත ගෙවන ලෙස සිනමා ශාලාවලට දැනුම්දී ඇති බව චිත්‍රපට සංස්ථාවේ කළමනාකාරීත්වය විගණනයට දැනුම් දී ඇත. දැනට ක්‍රියාත්මක වන සිනමාශාලා 142කින් හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බවත් වසාදමා ඇති හා පැරණි සිනමාශාලාවලින් අයකර ගත යුතුව තිබූ හිඟ මුදල් රුපියල් මිලියන 27ක් පමණ අයකරගෙන ඇති බවත් සඳහන් කර ඇති කළමනාකාරිත්වය හිඟ මුදල් අයකර ගැනීමට නොහැකි සිනමා ශාලාවලට නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බව ද විගණනයට සඳහන් කර ඇත.