Monday, May 12, 2025
Home » මන්නාරම උසාවිය ළඟ ද්විත්ව ඝාතනය රට ඉන්න කුඩු ජාවාරමකුගේ වැඩක්ද?

මන්නාරම උසාවිය ළඟ ද්විත්ව ඝාතනය රට ඉන්න කුඩු ජාවාරමකුගේ වැඩක්ද?

by mahesh
January 17, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ/ උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ද්විත්ව ඝාතන නඩුවකට පෙනී සිටීමට පැමිණි දෙදෙනකු ඝාතනය කරමින් දෙදෙනෙකුට තුවාල සිදු කරමින් එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරය විදේශගතව සිටින මත්කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයකුගේ මෙහෙයැවීම මත සිදුව ඇති බවට පොලිස් විමර්ශනවලින් හෙළි වෙමින් තිබේ. මන්නාරමේ උයිලන්කුලම හා නොච්චිකුලම යන ගම්මාන දෙ‌කේ දෙපිරිසක් අතර තිරික්කල් ධාවන තරගාවලියක් මුල්කරගෙන ඇතිවී තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සිදුවන ගහමරා ගැනිල්ලේ ප්‍රතිඵලයක් ලෙස මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබෙන බව වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා පැවැසීය.

එම දීවිත්ව ඝාතනය සිදුව ඇත්තේ 2022 වසරේ ජූනි 10 වෙනිදා හෝ ඒ ආසන්න දිනයකදීය. එහි ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය අසල වෙඩි තැබීමෙන් ඊයේ (16) මියගොස් ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

2022 වසරේ ජූනි 10 වෙනිදා ඝාතනය වී ඇත්තේ ජේසුදාසන් රාමයියා සහ ජේසුදාසන් දේව රාජා යන අවුරුදු 45 හා 34 යන වයස්වල පසුවූ සහෝදරයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා උයිලන්කුලම ගම්මානයේ පදිංචිකරුවන්ය. කපා කොටා ඔවුන් දෙදෙනාව ඝාතනය කර ඇති අතර එහිදී තවත් සිවුදෙනෙක් තුවාල ලබා තිබුණි.

එම සහෝදරයන් දෙදෙනාගේ ඝාතනයට මුල්වී ඇත්තේ තිරික්කල් තරගාවලියක් මෙන්ම ගම්මාන දෙකේ තරුණියක් සහ තරුණයෙක් අතර පැවැති පෙම් සම්බන්ධයක් බවද නියෝජ්‍ය පෙලිස්පති සාමන්ත විජේසේකර මහතා පැවැසීය. ගම්මාන දෙකේ තරුණයන් ඇතුළු පිරිස් තිරික්කල් තරග සංවිධානය කරන බවත් 2022 වසරේ ජූනි මාසයේදී තරගාවලියක් සංවිධානය කර තිබී ඇත්තේ උයිලන්කුලම ගම්මානයේ පිරිසක් විසින් බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. එහිදී පෙම් සම්බන්ධය මෙන්ම එම තරගාවලියේදී ජයග්‍රාහණය සම්බන්ධයෙන් ආරවුලක් ගම්මාන දෙකේ කණ්ඩායම් දෙකක් අතර ඇතිවී තිබෙන බව පොලීසිය සඳහන් කරයි. එම ආරවුල දුරදිගයමින් නොච්චිකුලම ගම්මානයේ කණ්ඩායමක් විසින් කළ පහරදීමකින් කැපුම් තුවාල ලබා උයිලන්කුලම ගම්මානයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනා මියගොස් ඇත. මෙම සහෝදරයන් දෙදෙනා මත්කුඩු ජාවාම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ද පත්වූ අය බව පොලීසිය සඳහන් කරයි. මෙම සහෝදරයන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නොච්චිකුලම ගම්මානයේ පදිංචිකරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය අසලදී ඝාතනය වන්නේ එසේ අත්අඩංගුවට ගත් අය අතර සිටි සබ්‍රියන් අරුල් (63) සහ සෙල්වකුමාර් ජූඩ් (42) යන දෙදෙනාය. තුවාල ලැබූ සෙසු දෙදෙනා අතර කාන්තාවක් ද සිටියි. ඔවුන්ද නඩුවට පෙනී සිටීමට පැමිණෙමින් සිට ඇත.

තුවාලකරුවන් දෙදෙනා මන්නාරම රෝහලේ ප්‍ර‍තිකාර ලබන බව මන්නාරම රෝහලේ වෛද්‍ය නිලධාරී හනීෆා මහතා පැවැසීය.

මෙම පිරිස මගී බස් රථයකින් මන්නාරමට පැමිණ අධිකරණය ආසන්නයේදී බස් රථයෙන් බැස පාගමනින් අධිකරණය දෙසට ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ දෙදෙනෙක් විසින් පිස්තෝලයකින් වෙඩි තබා ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මන්නාරම අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා පැමිණ සිටි කාන්තාවක් මෙම සිද්ධිය දැක ඇති අතර ඇය ප්‍රකාශ කර සිටියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකුගෙන් අයකු බිමට බැස එක දිගටම වෙඩි තැබූ බවය. මුහුණු ආවරණය වන සේ හෙල්මට් පැලඳ සිටි ඔහුගේ මුහුණේ කලු රෙදිකඩක් වැනි යමක් තිබෙනු තමන් දුටු බවද ඇය ප්‍රකාශ කළ බව පොලීසිය කියයි.

වෙඩි වරුෂාවක් එල්ල කිරීමෙන් පසුව ඔහු යතුරුපැදියට ගොඩවූ බවත් අනෙක් පුද්ගලයා වේගයෙන් යතුරුපැදිය පදවාගෙන ගිය බවත් ඇය ප්‍රකාශ කළ බව ද පොලීසිය සඳහන් කරයි. මේ අවස්ථාවේදී අධිකරණය ඉදිරිපිට සිටි පිරිස හිස් ලූ ලූ අත දිවගිය බවද විනාඩි කීපයකට පසුව පොලීසිය පැමිණ තුවාලකරුවන් රෝහලට රැගෙන ගිය බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

2022 වසරේදී මෙම ගම්මාන දෙකේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම හේතුවෙන් මේ වන විට ගම්මාන දෙකේම 07 දෙනෙක් ඝාතනය වී ඇති බව පොලීසිය සඳහන් කළේය. උයිලන්කුලම ගම්මානයේ සහෝදරයන් දෙදෙනාගේ ඝාතනයට පළිගැනීමට 2023 අගෝස්තු 23 වෙනිදා හෝ ආසන්න දිනකදී නොච්චිකුලමේ දෙදෙනෙකුට අඩම්පන්හී මුල්ලිකණ්ඩාල්වැව ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කර තිබුණු බවද නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා පැවැසීය. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කනපති කාලිමුත්ත සහ ජේසුදාසන් අරුන්දව රාජා යන දෙදෙනා එසේ ඝාතනය වී තිබුණි. මෙම ගැටුම් නිසා දීර්ඝ කාලයක සිට මේ ගමට පොලිස් ආරක්ෂාවද යොදවා තිබිණි.

මේ අතර රිය අනතුරකට ලක්කරමින්ද නොච්චිකුලම ගම්මානයේ පුද්ගලයකු ඝාතනය කර තිබුණු බවත් මේ සෑම ඝාතනයකටම සම්බන්ධ සැකකරුවන් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා පැවැසීය. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදා ඇති බවද නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT