ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ස්වකීය මාධ්‍යකරණ භාවිතයෙහිලා ආදර්ශයට ගතහැකි ආචාරධර්ම සංග්‍රහ පද්ධති දෙකක් වෙයි. ඉන් පළමුවැන්න: ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද ‘පුවත්පත් කලාවේදීන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහය’යි. දෙවැන්න: ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගැනුණු ‘වෘත්තීය ආචාරධර්ම සංග්‍රහය’ යි.
ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදීන්ට ස්වකීය මාධ්‍යකරණ භාවිතයෙහිලා මේ ආචාරධර්ම සංග්‍රහ දෙකෙන් යම්කිසි පූර්වාදර්ශයක් ලැබිය හැකි ය. පුවත්පත් මණ්ඩල පනතේ ආචාරධර්ම සංග්‍රහය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරනු ලැබ, පොදු පිළිගැනීමකට ලක් වූ, යම් කිසි නීතිමය බැඳීමක් සහිත ආචාරධර්ම සංග්‍රහයකි. කර්තෘ සංසදයේ ආචාරධර්ම සංග්‍රහය සඳහා එවැනි නීතිමය බැඳීමක් නොවුණත්, ශ්‍රී ලංකා කර්තෘ සංසදය මෙරට බොහෝ මාධ්‍ය ආයතන නියෝජනය කරන හෙයින්, එය ද පොදු පිළිගැනීමට ලක් වූ ආචාරධර්ම සංග්‍රහයක් ලෙස සැලකේ.
මේ ආචාරධර්ම සංග්‍රහ දෙකම මුද්‍රිත මාධ්‍ය සඳහා නැතිනම් පුවත්පත් කලාවේදීන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහ වේ.
පුවත්පත් කලාවේදීන් සඳහා වන මෙකී ආචාරධර්ම සංග්‍රහ යළි සිහිපත් කිරීමට සිදුවූයේ පසුගියදා දකින්නට ලැබුණු ජනමාධ්‍ය ප්‍රවෘත්ති කිහිපයක් නිසාය. වර්තමාන ජනමාධ්‍ය හා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ ඖෂධ මාෆියාවෙන් වැටුප් ලබන ජනමාධ්‍යවේදීන් පිරිසක් සිටින බවයි. ඔවුන් කවුරුන් දැයි හඳුනාගෙන, ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවක් ද ඒ ප්‍රවෘත්තියේ සඳහන් විය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩාළ කරවන ප්‍රවෘත්ති පළ කරන්නේ මෙකී සංවිධානාත්මක මාධ්‍ය ජාලය විසින් බව ද එහි වැඩිදුරටත් සඳහන් විය.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඇත්තේ එතරම් යහපත් සමාජ ප්‍රතිරූපයක් නොවේ. මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකය (World Media Freedom Index) නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 135 වැනි ස්ථානයේ ය. එය යහපත් ප්‍රවණතාවක් නොවේ. ශ්‍රී ලංකාව 135 වැනි ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටවල් 180ක් අතරිනි. ඊට අනුව අප පවතින්නේ මාධ්‍ය නිදහස අහිමි රටවල් ගොන්නේ ය.
මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක, දූපත්වාදී මාධ්‍ය භාවිතයක නිරත වන රටක මාධ්‍යවේදීන්ගෙන් උසස්, ගුණාත්මක මාධ්‍යකරණ ක්‍රියාවලියක් බලාපොරොත්තු විය නොහැකි ය.
හිටපු ජනමාධ්‍ය ඇමැතිවරයකු වූ මංගල සමරවීර මහතා වරක් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් මත්පැන් බෝතලයට සහ රුපියල් 500ට මිල දී ගතහැකි බවයි. එය එක්තරා ආන්දෝලනාත්මක ප්‍රකාශයකි. එපමණක් නොව, බොහෝ ව්‍යාපාරික ප්‍රජාව, දූෂිත දේශපාලනඥයන් සහ තවත් ජාවාරම්කාර හස්ත මඟින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය මෙහෙයවනු ලබන බවට සාක්ෂි පසුගියදා ඕනෑතරම් අසන්නට ලැබිණි.
ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වූ වික්ටර් අයිවන් මහතා එක් අවස්ථාවක ප්‍රකාශ කොට තිබුණේ අනූව දශකයෙන් පසු ශ්‍රී ලංකාවේ කළු සල්ලි ආයෝජනය කරන තැනක් ලෙස ජනමාධ්‍ය ආයතන ඇරඹීම සැලකිය හැකි බවයි. ඒ අනුව විවිධ අයථා අන්දමින් උපයා ගනු ලැබූ මුදල් ඒ ජාවාරම්කාරයන් විසින් මාධ්‍ය ආයතන ආරම්භ කිරීමට යොදා ගත් බවට එමඟින් චෝදනා එල්ල විය. එසේ නම් ඖෂධ මාෆියාවෙන් වැටුප් ලබන ජනමාධ්‍යවේදීන් සිටිය හැකි බවටත්, ඔවුන් අප රටේ මාධ්‍යකරණ ක්‍රියාවලිය හසුරුවන බවටත් වන චෝදනාව සරල අර්ථයෙන් බැහැර කළ නොහැක්කකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පමණක් නොව, ජනමාධ්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන්ගේ අවධානය ද ඒ කෙරෙහි යොමු විය යුතු ය.
‘පළ කිරීම සඳහා තමා විසින් ලියන ලද කවර හෝ ලිපියක් පළ කිරීමට පෙර එහි අඩංගු කරුණුවල සත්‍යතාව නිශ්චය කර ගැනීම සඳහා තම බලය යටතේ ඇති සියලු සාධාරණ ක්‍රියාමාර්ග උපයෝගි කර ගත යුතු ය,’ යනුවෙන් පුවත්පත් මණ්ඩල පනතේ ආචාරධර්ම සංග්‍රහයේ පළමුවැනි ආචාරධර්මයේ සඳහන් වෙයි. එසේනම් මෙකී ආචාරධර්මයට අනුව වාර්තාකරණයේ නිරත වූවා ද යන්න අප පෙරළා ප්‍රශ්න කළ යුතුව ඇත.
මාධ්‍ය ආයතන හිමිකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පසුගියදා සඳහන් කළේ තමා ‘ප්‍රශස්ත මාධ්‍යකරණයක’ නිරත වූ අයකු බවයි.
‘ප්‍රශස්ත’ යන වචනයට අර්ථ දැක්වීම වනුයේ ‘ප්‍රශංසාවට ලක් වූ’ නැතිනම් ‘සිතින් සිතා ගතහැකි විශිෂ්ටතම හෝ උසස්තම’ යන්නයි.
පාඨක සමාජය හමුවේ නිවැරදි ලෙස ඔප්පු කරගත නොහැකි වූ නයි මතුවීමේ සිද්ධි, ධම්මික පැණිය පිළිබඳ සිද්ධි දේශපාලනික වුවමනාව වෙනුවෙන් වාර්තාකරණය කරද්දී එකී ප්‍රශස්ත මාධ්‍යකරණය තිබුණේ කොහේදැයි අපි නොදනිමු.
කෙසේ වෙතත්, සිංහල ශබ්දකෝෂයේ ‘ප්‍රශස්ති’ යනුවෙන් වචනයක් ද පවතියි. එහි තේරුම ‘යම් පුද්ගලයකු වෙනුවෙන් ගුණ වර්ණනා කිරීම’ය. එවැනි ප්‍රශස්ති ගායනා කළවුන් හැඳින්වූයේ ‘වන්දිභට්ටයන්’ යනුවෙනි. ඇතැම් විටක මෙය “ප්‍රශස්ත සහ ප්‍රශස්ති” යන වචන දෙකේ පැටලීමක් වන්නට ඇත.
කවර තත්ත්වයක් යටතේ වුව ද, මෙරට ජනමාධ්‍ය ක්‍රියාවලිය මීට වඩා විධිමත් ආකාරයකින් සිදු විය යුතු බවටත්, ඒ සඳහා විධිමත් නියාමන ක්‍රමවේදයක් සකස් විය යුතු බවටත් ඉහත සාක්ෂි දෙක උදාහරණ සපයයි. ශ්‍රී ලංකාවේ සමස්ත මාධ්‍ය ක්‍රියාවලිය නියාමනය කරන පොදු මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහයක් සකස් කිරීමට තවමත් නොහැකි වී තිබේ. විදත් හා මුද්‍රිත යනුවෙන් වෙන වෙනම ආචාරධර්ම සංග්‍රහ නොව, සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයම එක්වර නියාමනය කළ හැකි ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් (National Media Policy) සකස් කිරීම කාලීන අවශ්‍යතාවක්ව පවතියි. එය දේශපාලනික අවශ්‍යතා පසෙකලා, ජාතික අවශ්‍යතාව මත සකස් විය යුත්තකි.
එවැනි ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් වූ කෙලක මාධ්‍යවේදීන්ට ආචාරධර්ම උල්ලංඝනය කිරීමට නොහැකි වනු ඇත; වෙනත් ජාවාරම්කාර පෙළැන්තියට අවශ්‍ය පරිදි මාධ්‍ය නැටවීමට නොහැකි වනු ඇත; කළු සල්ලිකාර ජාවාරම්කාරයන්ට, නැති නම් අදිසි මුදල් ඇති හස්තවලට මෙරට මාධ්‍ය ආයතන ආරම්භ කිරීමට ඇති ඉඩකඩ ඇහිරී යනු ඇත.
ඒ නිසා එවැනි ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට මූලික පසුබිම සකස් කිරීමේ කාලය එළඹ තිබේ.